Thursday, 20 August 2015

බුදුදහම හා මාර සංකල්පය 08.



බුදුදහම හා මාර සංකල්පය 08
මාරයා ගොවියෙකුගේ වෙස්ගනී

පසුගිය ලිපියෙන් අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ මාරසංයුත්තයට අයත් ගෝධික සූත්‍රයේ එන පවිටු වූ මාරයා පරාජයට පත් වූ අවස්ථාවක් පිළිබඳ කරුණු පහදා දීමටයි.  මෙවර ලිපියෙන් විමසා බලන්නේ සංයුත්ත නිකායේම එන ගොවියකුගේ වෙස්ගත් පවිටු මාරයා පිළිබඳ කරුණු ඇතුළත් “කස්සක සූත්‍රය” විමසා බැලීමටයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථාවෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි උන්වහන්සේලා උනන්දු කරවනසේක. පී‍්‍රතියට පත් කළ සේක. උන්වහන්සේලාගේ සිත් පී‍්‍රති කළසේක. ඒ භික්ෂු සමූහයා ද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලු කන් ඇතිව බණ අසත්, එහි නිරතව සිටිත්.

එවිට පාපී මාරයාට මේ අදහස විය. “මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් භික්ෂු සමූහයාට කරුණු දක්වයි. කරුණූ සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත පී‍්‍රතිකරවයි. ඒ භික්ෂූහු ද එයට කැමැතිව, සිත්හි ලා ගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලු කන් ඇතිව බණ අසත්, ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක” යනුවෙනි.

පාපී මාරයා ගොවියෙකුගේ වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේ ය. පැමිණ, “මහණ, මා ගොනුන් දුටුයෙහිදැයි” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

අථ ඛො මාරො පාපිමා කස්සකවණ්ණං අහිනිම්මිනිත්වා මහන්තං නංගලං බන්ධෙ කරීත්වා දීඝපාවනයට්ඨිං ගහෙත්වා හටහටකෙසො සාණසාටිනිවත්ථො කද්දමමක්ඛිතෙහි පාදයෙහි යෙන භගවා තෙනුපසංකම්, උපසංකමිත්වා භගවන්තං එතදවොච ‘අපි, සමණ, බලීබද්දෙ අද්දසා’ති

“පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?” “කිං පන, පාපිම, තෙ බලීබද්දෙහි”ති

“යනුවෙන් ප්‍රශ්න කළහ. එවිට මාරයා බුදුරජාණන් වහන්සේ තමන් හැඳිනගත් බව දැන මෙසේ පැවසීය.

මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය, එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කනද මගේමය, හඬද මගේමය, කන හි හඬෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය. ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණයද මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤ්ඤාණායතනයත් මගේමය. එසේ වූ කල මහණ, කොහි ගොස් මගෙන් ගැළවෙන්නෙහිද?

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “පව්කාරය, ඇස තගේමය, රූප තගේමය. ඇස හා රූපයෙන් හටගන්නා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්තම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනක් නැත. පව්කාරය, කනද තගේමය, ශබ්දයද තගේමය, කන හා ශබ්දයෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කනත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කනෙහි පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනක් නැත.

“පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නහය හා ගඳෙන් උපදනා විඤ්ඤාණායතනය ද තගේමය, පව්කාරය, යම්තැනෙක වනාහි නහයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තගේ ගමනක් නැත.

“පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය. යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම්, එහි තගේ ගමනක් නැත.

“පව්කාරය, සිත තගේමය. සිත් අරමුණු තගේමය. සිත හා සිත් අරමුණෙන් උපදනා විඤ්ඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤ්ඤාණයත් නැත්නම් එහි තාගේ ගමනක් නැත.

එවිට මාරයා මෙසේ කීය. “යමෙකුට මෙය මගේය” යි කියත් ද, යම් කෙනෙක්, මෙය මගේය යි කියත් ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේ නම්, මහණ, ඔබට මගේ මිදීමෙක් නැත.

‘යං වදන්ති මම යිදන්ති
යෙ වදන්ති මමන්තිච
ඵත්ථ චෙ තෙ මනො අත්ථි
න මෙ සමණ මොක්ඛසී’ ති.

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “යමෙක් මෙය මගේය.” කියත් ද, ඒ කිසිත් මගේ නොවේ. යම් කෙනෙක් හෝ මෙය මගේය යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව, මා ගිය මාර්ගයවත් තෝ නොදත්තෙහිය.

“යං වදන්ති න තං මය්හං
යෙ වදන්ති න තෙ අහං
එවං පාපිම ජානාහි
න මෙ මග්ගම්පි දක්ඛසී” ති.

එවිට ඒ පාපී මාරයා පැහැදිලිවම භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

මතු සම්බන්ධයි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත,
මහරැඹෑවැවේ පාලිත හිමි

No comments:

Post a Comment