Tuesday, 18 August 2015

බුදුදහම හා මාර සංකල්පය 06.



බුදුදහම හා මාර සංකල්පය 06
මුගලන් තෙරණුවන්ට කරදර කිරීමට පැමිණි මාරයා 02

පසුගිය ලිපියෙන් අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ මුගලන් මහ තෙරණුවන්ට කරදර කිරීමට මාරයා පැමිණි අවස්ථාවක් පිළිබඳ කරුණු ඇතුලත් වන මජ්ක්‍ධිම නිකායට අයත් ‘මාරතජ්ජනීය’ සූත්‍රයට අයත් මාරයාගේ ක්‍රියා කලාපය විස්තර කිරීමටයි. එහි පල වූයේ මාරයා හා මුගලන් මහ තෙරණුවන් අතර ඇති වු සාකච්ඡාවෙන් කොටසකි. මේ එම සූත්‍රයේ දෙවන කොටසයි.

මාරය ඉක්බිති ඒ භික්ෂූහු අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ වු. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු. මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු.ආරණ්‍යයට ගියාහුද, වෘක්ෂ මූලයට ගියාහුද, ශූන්‍යාගාරයට ගියාහුද මෛත්‍රිසහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, තුන්වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි සියල්ලෙන් යුක්ත වූ ලෝකය මහත්වු මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවු වෛර රහිතවූ ව්‍යාපාර රහිත වූ මෛත්‍රි සහගත සිතින් පතුරවා වාසය කළහ. අප්‍රමාණවු, වෛර රහිතවූ ව්‍යාපාද රහිතවු කරුණා සහගත සිතින්ද මුදිතා සහගත සිතින්ද උපේක්ෂා සහගත සිතින්ද සය දිසාවෙහිම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණයන්ගෙන් යුක්තව වාසය කළහ.

මාරය, ඉක්බිති දුසී මාරයාට මෙසේ අදහස් විය. ‘මම මෙසේ කරන්නාවූද සිල්වත් වූ යහපත් ස්වභාව ඇති,මේ භික්ෂූන්ගේ ඒමක් හෝ යාමක් හෝ නොදනිමි. යම් හෙයකින් මම බ්‍රාහ්මණ ගෘහපතීන්ට ආවේශ වන්නෙම් නම් යෙහෙකි යනුවෙනි. එන්න, ඔබලා සිල්වත්වු යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරන්න. ගරු කරන්න බුහුමන් කරන්න. පුදන්න, ඔබලා විසින් සත්කාර කරනු ලබන්නාවූ , ගරු කරනු ලබන්නා වූ බුහුමන් කරනු ලබන්නා වූ පුදනු ලබන්නා වූ ඒ භික්ෂූන්ගේ සිතෙහි දුසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනවි යනුවෙනි.

“මාරයා, ඉක්බිති ඒ පාපී වූ දුසී මාරයා බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවේශ විය. මාරය, ඉක්බිති දුසි මාරයා ආවේශවූ, ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ සිල්වත්වු, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරත්, ගරුකරත්, බුහුමන් කරත්, පුදත්, මාරය, එකල්හි යම් ඒ මනුෂ්‍ය කෙනෙක් කලුරිය කරත්ද, ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලෝකයේ බොහෝ සෙයින් උපදිත්.

මාරය, එකල්හි අර්හත්වු සම්‍යක් සම්බුද්ධ වු කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ කීහ. මහණෙනි, බ්‍රාහ්මණ ගෘහපතීන්ට දුසී මාරයා ආවේශ විය. එසේ ආවේශ වූයේ ඔබලාට ප්‍රත්‍ය පිළිබඳ ආශාව ඇති කොට මුලා කරන අදහසිනි. ඒ නිසා ඒ පාපී වු දුසී මාරයා, ඒ බ්‍රාහ්මණ , ගෘහපතීන් මෙසේ කීය. “ඔබලා සිල්වත්වු යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට සත්කාර කරන්න. ගරු කරන්න, බුහුමන් කරන්න, පුදන්න” යනුවෙනි.

එසේ කියා ඔහු මෙසේ සිතීය. මේ බ්‍රාහ්මණ ගෘහපතින් විසින් සත්කාර කරනු ලබන්නා වූ ගරු කරනු ලබන්නා වූ, බුහුමන් කරනු ලබන්නා වූ , පුදනු ලබන්නා වූ , ඔවුන්ගේ සිතේ මට ඉඩක් ලැබෙන ලැබෙන පරිදි පෙරලීමක් ඇති වන්නේ නම් යහපති යනුවෙනි.

එසේ හෙයින් මහණෙනි,ඔබලා මේ කාරණයෙහිලා මෙසේ හික්මෙන්න,ශරීරයේ අශුභය අනුව දකිමින් වාසය කරන්න. ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්න. සියලු ලෝකයෙහි නොඇලීම සංඥා ඇතිව වාසය කරන්න. සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව දකිමින් වාසය කරන්න යනුවෙනි.

මාරයා ඉක්බිති අර්හත් වු සම්‍යක් සම්බුද්ධ වු කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නා වූ මෙසේ අනුශාසනා කරනු ලබන්නා වූ ඒ ආරන්‍යයට ගියාහුද, වෘක්ෂමූලයට ගියාහුද, ශූන්‍යාගාරයට ගියාහුද, කයෙහි අශුභය අනුව දකිමින් විසූහ. ආහාරයෙහි පිළිකුල් සංඥා ඇතිව සියලු ලෝකයෙහි නොඇලීම සංඥාව ඇතිව සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව දකිමින් වාසය කළහ. මාරය, ඒ පාපී වූ මාරයාගේ ග්‍රහණයට හසු නොවු භික්ෂූන් පිළිබඳ කෝප වු ඔහු එකල්හි අරහත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන පිටුපසින් ගමන්කරන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ සමඟ පිඬු පිණිස ගමට පිවිසියහ. මාරය ඉක්බිති, ඒ පාපි අදහස් ඇති දුසී මාරයා, එක්තරා ළමයෙකුට ආවේශවී ගල්කැටයක් ගෙන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේගේ හිසට පහරක් දුන්නේය. හිස පැලුනේය.

මාරය, ඉන්පසු ආයුෂ්මත් විධුර මහතෙරුන් වහන්සේ පැළුණ හිසින් යුක්තව ගලන්නා වූ ලෙයින් යුක්තව අර්හත්වු සම්‍යක්සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස්සේම ගියහ. මාරය, ඉක්බිති අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවු කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මේ දුසී මාරයා පමණ දැන නොගෙනේයයි කියමින් නාගාපලොකනය (ඇතෙකු මෙන් මුළු ශරීරයෙන් ආපසු හැරී පිටුපස බැලීම) කළහ. මාරය ඒ බැලීමත් සමඟම ඒ පාපී වූ දුසි මාරයා, ඒ මොහොතේම ඒ ස්ථානයෙන් චුතව මහා නිරයෙහි උපන්නේය.

මාරය ඒ මහා නිරයට නම් තුනක් වෙත්, ඒවාට ජඵස්සායතනික යයිද පංකුසමාහත යයිද, පච්චත්ත වේදනීය යයිද කියනු ලැබේ. ඉක්බිති ඒ පාපි වු මාරයා කරා නිරය පාලයෝ පැමිණ මෙසේ කීහ. එම්බා පවිට, ‘යම් කලෙක ඔබගේ පපුවෙහි යමුලින් යහුල එක්වන්නේද, එකල්හි නරකයෙහි පැසෙනු ලබන්නා වූ තට,අවුරුදු දහසක් සම්පූර්ණයයි දැනගනුව, මාරය, ඒ මම බොහෝ අවුරුදු ගණන්, බොහෝ අවුරුදු සිය ගණන්, බොහෝ අවුරුදු දහස් ගණන් මහා නරකයෙහි පැසුනෙමි. ඒ දස දහසක් අවුරුදු ඒ මහනිරය, පිළිබඳවූ ඔසුපත් නිරයෙහි, කර්ම විපාකයෙන් හටගත් වේදනා හෙයින් වුට්ඨාතිම නම් වු වේදනාව විඳිමින් පැසුනෙමි.

මාරය, ඒ මාගේ ශරීරය මිනිසෙකුගේ මෙන් විය, හිස මාළුවෙකුගේ මෙන් විය.

විධුර අග්‍ර ශ්‍රාවකයින් වහන්සේද, කකුසඳ, බුදුන්ද ගටා යම් තැනක දුසි නම් මාරයා පැසුනේද, එය සියල්ල තෙමේම වේදනා උපදවන්නා වූ යවුල් සියයක් ඇති මෙබඳු නරකයන් විය. සර්වඥ ශ්‍රාවක වූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක්, මේ නිරයෙහි දුක් විභාගය දනීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා දුකට ඔබ පැමිණෙන්නෙහිය. මහා සමුදය මැද දියමතුපිට පිහිටියාවූ, කල්පයක් පවතින්නාවූ, වෛඩූ¸ වර්ණ ඇත්තාවු සිත්තුළවූ පර්වත මුදුනෙහි බබලන ගිනි කදක් සේ රස්මියෙන් යුක්තවූ දිලිසෙන දිව්‍ය විමානයෝ වෙති. එහි බොහෝ වූ නොයෙක් පාට ඇති දිව්‍යප්සරාවෝ නටති. තථාගත ශ්‍රාවකවූ යම් භික්ෂුවක් මේ විමාන වස්තු විස්තරය දකීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා ඔබ දුකට පැමිණෙන්නෙහිය. යම් භික්ෂුවක් සර්වඥයන් විසින් නියම කරන ලද්දේ, භික්ෂු සංඝයා බලා සිටිද්දී, මිගාරමාතෘ ප්‍රාසාදය පය මාපටැඟිල්ලෙන් ගසා කම්පා කෙළේද සර්වඥ ශ්‍රාවකවූ යම් මහා මොග්ගල්ලාන නම් භික්ෂුවක් මේ ඍද්ධිය දනීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා ඔබ දුකට පැමිණෙන්නෙහිය.

යමෙක් තෙම ඍද්ධි බලයෙන් උපකාර ලද්දේ විජයොත් පහය, පය මහපටැඟිල්ලෙන් ගසා කම්පා කෙළේද, දෙවියන් සංවේගයට පැමිණවූයේද , බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන තෙරණුවන් මෙය දනීද, මාරය, ඔබ එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය. යම් ඒ මොග්ගල්ලාන නම් තෙරණුවන්, ඇවැත්නි තෘෂ්ණා ක්ෂය විමුක්තියද දන්නෙහිදැයි. විජයොත් පහයේදී ශක්‍රයාගෙන් ප්‍රශ්න කළේද, ප්‍රශ්න විචාරණ ලද්දාවූ ශක්‍රතෙම උන්වහන්සේට සර්වඥයන් වහන්සේ වදාළ පරිදි ප්‍රකාශ කළේය. බුද්ධ ශ්‍රාවකවූ යම් ඒ මොග්ගල්ලාන තෙරණුවන් මෙය දනීද, මාරය, ඔබ එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

යමෙක්, බ්‍රහ්ම ලෝකයෙහි සුධර්මා නම් බ්‍රහ්ම සභාවේදී බඹුන්ගෙන් ඇවැත්නි ඔබට පූර්ව කාලයෙහි යම් මිථ්‍යා දෘෂ්ටියක් විද, නුඹගේ ඒ මිථ්‍යා දෘෂ්ටිය අදත් ඇද්දැයි ප්‍රශ්න කළේද, බඹලොව අන්‍ය බ්‍රහ්මයන්ගේ ආලෝකය මැඩ පැවැත්වන්නාවූ, ශාරිපුත්‍ර තෙරණුවන් පිරිවරා තේජෝධාතුවට සමවැදසිටි සර්වඥයන් වහන්සේගේ ආලෝකය දන්නෙහිදැයි ඇසුවේද , බ්‍රහ්මයා උන්වහන්සේට, පිළිවෙලින් ඇති සැටි යම්සේ නම් එසේ ප්‍රකාශ කළේය.

පූර්වකාලයෙහි මට යම් ශාස්වත දෘෂ්ටියක් වීද, නිදුකානෙනි, මට ඒ දෘෂ්ටිය දැන් නැත්තේය. බඹලොව අනිකුත් ආලෝක ඉක්ම බබලන බුද්ධාලෝකය දකිමි. මම නිත්‍යවෙමි, සදාකාලික වෙමි. යි ඒ මම කෙසේ කියම්ද? බුධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, ඔබ එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය. යමෙක් තෙම, ධ්‍යාන බලයෙන් මහාමේරු පර්වතයෙහි මුදුන ස්පර්ශ කෙළේද ජම්බුද්වීපයද, ස්වීපයද, අපරගොයාන ද්වීපයද හා උත්තරකුරු ද්වීපයද ස්පර්ශ කළේද, බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන තෙරණුවෝ මෙය දනීද, මාරය, ඔබ එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය. ගින්න, මම බාලයා දවමි’යි. ඒකාන්තයෙන් නොවෙළයි. බාලයාම දිලිසෙන ගින්නට පැමිණ දනු ලැබේ. මාරය එපරිද්දෙන්ම, ඔබද ගටා ගින්න ස්පර්ශ කරන්නාවු බාලයෙකු මෙන් එහිම දැවෙන්නෙහිය.

මාරයා, මාගේ පාපය විපාක නොදන්නේයැයි සිතන්නෙහිද? මාරය, පව්කම් කරන්නහුගේ පාපය බොහෝ කලක, මුළුල්ලෙහි රැස්වෙයි. එහෙයින් මාරය. සර්වඥයන් වහන්සේ කෙරෙහි නොඇලී යව, භික්ෂූන් වෙහෙසෙන ආසාව, නොකරව, මෙසේ මහා මොග්ගල්ලාන භික්ෂූන් වහන්සේ, භේසකලා නම් වනයෙහිද මාරයා වෙහෙසුසේක. එයින් හටගත් නොසතුටු සිත් ඇති පාපි වසවර්ති මාරයා එහිම නොපෙනී ගියේය.

මතු සම්බන්ධයි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

No comments:

Post a Comment