Tuesday, 18 August 2015

බුදුදහම හා මාර සංකල්පය 05.



බුදුදහම හා මාර සංකල්පය 05
මුගලන් තෙරණුවන්ට කරදර කිරීමට පැමිණි මාරයා

පසුගිය ලිපියෙන් අපගේ සාකච්ඡාවේ දී විස්තර වූයේ මාර සංයුත්ත නිකායට අයත් සමිද්ධි සූත්‍රය විස්තර කිරීමටයි. මෙවර ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ මුගලන් මහ තෙරණුවන්ට කරදර කිරීමට මාරයා පැමිණි අවස්ථාවක් පිළිබඳ කරුණු ඇතුළත් වන මජ්ක්‍ධිම නිකායට අයත් “මාරතජ්ජනීය” සූත්‍රයට අයත් මාරයාගේ ක්‍රියා කලාපය විස්තර කිරීමටයි.

එක් කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භගුනම් දනව්වෙහි, සුංසුමාරගිරි නම් නුවර, භෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි මහමුගලන් තෙරණුවෝ එළිමහනෙහි සක්මන් කරමින් සිටියහ. එකල්හි පාපි වූ මාරයා මහමුගලන් තෙරණුවන්ගේ කුසට ඇතුල්වූයේ, ආමාශය ඇතුළට වැදුනේ වෙයි. ඉක්බිති මහමුගලන් තෙරණුවන්ට මෙසේ සිතුනේය. කුමක් හෙයින් මාගේ කුස උදුවත් කෑ කලෙක මෙන් බරට දැනේද, (කියාය) ඉක්බිති උන්වහන්සේ සක්මනින් බැස විහාරයට වැඩ පැණවු අස්නෙහි, වැඩ හුන්නේය. වැඩහිඳ උන්වහන්සේ තමා ගැන කල්පනා කළහ.

එවිට මහමුගලන් තෙරණුවෝ තමන් වහන්සේගේ කුසට වැදී ආමාශයට ඇතුල් වූ පාපීවූ මාරයා දුටහ. දැක, පාපිවූ මාරයාට මෙසේ කීහ. පාපීය, නික්මෙව, නික්මෙව, තථාගතයනට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයින්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස, නොවේවායි කීය. ඉක්බිති පාපීවූ මාරයාට මේ සිත් විය. “මේ ශ්‍රමණ තෙම, මා නොදැනම නොදැකීම පාපිය නික්මෙව, පාපිය නික්මෙව, කථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවායි කීයේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවක තෙම කෙසේ දන්නේද? කියායි.

ඉක්බිති මහමුගලන් තෙරණුවෝ පාපි වූ මාරයාට මෙසේ කීහ. “පාපි මාරය.මේ කාරණයෙහි ලා මම තා දනිමි.

මා නොදනියයි නුඹ නොසිතව, පාපිය, නුඹ මාරයා, වෙහිය, පාපිය නුඹ මෙසේ සිතයි. මේ ශ්‍රමණ තෙම මා නොදැනම,නොදැකම, පාපිය නික්මෙව පාපීය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක පිණිස නොවේවා’යි කියන්නේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද, මා වහාම දැන නොගන්නේය.මේ ශ්‍රාවක තෙමේ කෙසේ නම් දන්නේද? (කියාය)

ඉක්බිති පාපීවූ, මාරයාට මෙසේ සිත්විය. මේ ශ්‍රමණ තෙමේ මා දැනම, දැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, ඔබට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා’යි කියන්නේය (යනුවෙනි)

ඉක්බිති පාපීවූ මාරතෙමෙ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ මුවින් නික්ම කවුළුවෙන් පිටත සිටියේය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ කවුළුව අසල සිටියාවූ, පාපීවූ , මාරයා දුටහ. දැක පාපීවූ මාරයාට මෙසේ කීහ. මාරය ඔතනදීද මම තා දකිමි. මා නොදකීයයි නුඹ නොසිතව පාපීය, මේ නුඹ කවුළුව අසල සිටියෙහිය.

පෙර අත්බවක මාරයෙක් වූ මුගලන් හිමියන්

පාපීය, පෙරවූවක් කියමි. මම දුසීනම් මාරයෙක් වීමි. ඒ මට කාලිනම් නැගනියක් විය. නුඹ ඇගේ පුත්‍රයාය. ඒ නුඹ මගේ බෑනා විය. මාරය, එකල්හි අරහත් වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි පහළ වූහ. මාරය, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ විධුරය පඤ්ජිවයන නම් අග්‍රශ්‍රාවක දෙනමක් විය. මාරය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ යම් පමණ ශ්‍රාවක සමූහයා අතරෙන් ධර්ම දේශනා කිරීමෙහි. විධුර ස්ථවිරයන් වහන්සේ හා සමාන වූ කිසිවෙක් නොවූහ. මාරය මේ කාරණයෙන් ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේට, විධුරය, විධූරය, කියාම නාමය පහළ විය.

මාරය ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් ආරණ්‍යයට ගියේද වෘක්ෂ මූලයකට ගියේද, ශූන්‍යාගාරයට ගියේද, ඉතා පහසුවෙන් නිරෝධ සමාපත්තියට. සමවදියි. මාරය, මම පෙර වූවක් කියමි. ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ එක්තරා, රුකක් මුල නිරෝධ සමාපත්තියට සමවැදී සිටියහ. මාරය, ගොපල්ලෝද, වෙනත් සිව්පාවුන් රකින්නෝද, ගොවිකම කරන්නෝද, මගියෝද, එක්තරා රුකක් මුල නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දුටුවාහුය. දැක, ඔවුන්ට,මේ අදහස් විය. ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පෙරනුවූ දෙයකි. මේ ශ්‍රමණ තෙම හිඳගෙනම කලුරිය කළේය. එබැවින් ඔහු දවමු”යි (කියාය) මාරය, ඉක්බිති ගොපල්ලෝද, වෙනත් සිව්පාවුන් රකින්නෝද, ගොවියෝද, මගියෝද, එක්ව තණ කොළද,දරද, වියළි ගොමද, ගෙනවුත් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්ගේ ශරීරය මතුයෙහි දමා ගිනිතබා ගියහුය. මාරය ඉක්බිති,ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවී ගිය පසු ඒ සමවතින් නැගිට සිවුර ගසා දමා පෙරවරු කාලයෙහි පාසිවුර ගෙන ගමට පිඬු පිණිස වැඩියහ. මාරය, ගවපාලකයෝද, සෙසු සිවුපාවුන් රකින්නෝද, මගියෝද, පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දුටුවාහුය. දැක ඔවුනට මේ සිතවිය. “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයකි. ඒකාන්තයෙන් අද්භූතයකි.

මේ ශ්‍රමණ තෙම හිඳගෙනම, කලුරිය කළේ්ය.හෙතෙම නැවත ජීවත්වෙයි. (කියාය) මාරය, මේ කාරණයෙන් ආයුෂ්මත් සඤ්ජිව ස්ථවිරයන් වහන්සේට, සඤ්ජීව , සඤ්ජීව, කියාම නම පහළ විය.

ඉක්බිති මාරය, දුසීමාරයාට මෙසේ සිත්විය. මම සිල් වත්වූ යහපත් ස්වභාව ඇති මේ භික්ෂූන්ගේ ඒමක් හෝ යාමක් නොදනිමි. යම් හෙයකින් මම බමුණු ගෘහපතියන්ට ආවේශවන්නේ නම් යෙහෙක. එව තොපි සිල්වත්වු යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට (දසවිධ බැනුම් වලින්) බණීව් වචනයෙන් නින්දා කරවු. ගටව්, වෙහෙසෙව්, තොප විසින් බණිනු ලබන්නාවු.

නින්දා කරනු ලබන්නා වූ ගටනු ලබන්නාවූ වෙහෙසනු ලබන්නාවූ, ඔවුන්ගේ සිත්හි දුසි මාරයාට ඉවක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනවි “(කියාය)

මාරය, ඉක්බිති, දුසි මාර තෙම ඒ බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ විය. ‘එව, තොපි සිල්වත් වූ යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට බණිව්, නින්දා කරව්, ගටව්, වෙහෙසව්, තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දා කරන්නා වූ, ගටනු ලබන්නා වූ, වෙහෙසනු ලබන්නාවූ ඔවුන්ගේ සිතෙහි දුසි මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේනම් මැනවි( කියාය)

මාරය, ඉක්බිති දුසී මාරයා ආවේශ වූ ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ සිල්වත්වූ, යහපත් වූ, ස්වභාව ඇති භික්ෂූන්ට බණිති. නින්දා කරති. ගටති, වෙහෙසෙති, (කෙසේදයත්) මොහු වනාහි මුඩුවූවෝය. ශ්‍රමණ ප්‍රතිරූපකයෝය. දාසයෝය, පව්කාරයෝය, මහා බ්‍රහ්මයාගේ යටි පතුලෙන් උපන්නෝය. “අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු”යයි කියමින් බිම බලා ගත්තහු, යටිකුරු මුහුණ ඇත්තාහු, කම්මැලි වූවහු, සිත සිතා සිටිත්, කල්පනා කරමින් සිටිත්.

යම්’සේ වනාහි බකමූණා ගසක අත්තට වී ගොදුරු පිණිස මීයකු පරික්ෂා කරමින්, සිටීද එපරිද්දෙන්ම, මුඩුවු, ශ්‍රමණ, ප්‍රතිරූපකවූ, දාසයන් වැනිවූ, පව්කාරවූ, මහා බ්‍රහ්මයාගේ යටිපතුළෙන් උපන්නා වූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු” අපි ධ්‍යාන ඇත්තෙමු’යි කියමින් බිම බලාගෙන යටි කුරු මුහුණ ඇති කම්මැලි කමින් සිත සිතා සිටිත්.

යම් සේ වනාහි හිවලා ගංතෙරයී මසුන් සොයමින් සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ ශ්‍රමණ ප්‍රතිරූපකවු, දාසයත් වැනිවූ, පවිටුවු, බ්‍රාහ්මපාදයෙන් උපන්නාවු මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු.අපි ධ්‍යාන ඇත්තෙමු’යයි බෙල්ල නමා ගත්තාහු. යටට හෙලු මුහුණු ඇත්තාහු. අලස වූවාහු සිත. සිතා සිටිත්. මෙසේ වනාහි බළලා ගිය මුලුවලද වැසිකිළි අසල හෝ රොඩු ගොඩක් අසලද සැඟවී මීයෙකු සොයමින් සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවනු ශ්‍රමණ ප්‍රතිරූපකාරිවූ, දාසයන් වැනිවූ, පවිටුවූ බ්‍රාහ්ම පාදයෙන් උපන්නාවූ මොවුහු “අපි ධ්‍යාන ඇත්තෙමු අපි ධ්‍යාන ඇත්තෙමු”යි බෙල්ල නමා ගත්තාහු. යටට හෙලූ මුහුණු ඇත්තාහු. අලසවූවාහු. සිතිවිල්ලේ යෙදී සිටිත්.

උසුලාගෙන ආ බරින් නිදහස්වු කොටළුවෙක් තෙම, යම්සේ ගෙයි බිත්ති අයිනේද වැසිකිළි ගොඩ අසල හෝ රොඩු ගොඩක් අසලද සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ ශ්‍රමණ ප්‍රතිරූපකවූ දාසයන් වැනිවූ පවිටුවු, බ්‍රහ්ම පාදයෙන් උපන්නාවු මොවුහු “අපි ධ්‍යාන ඇත්තෙමු’ අපි ධ්‍යාන ඇත්තෙමු”යි බෙල්ල නමා ගත්තාහු. යටට හෙලූ මුහුණූ ඇත්තාහු.අලසවුවාහු. සිතිවිල්ලේයෙදී සිටිත්. විශේෂයෙන් සිත සිතා සිටිත්, (කියාය) මාරය එකල්හි යම් ඒ මනුෂ්‍යයෝ කලුරිය කරත්ද බොහෝ සෙයින් ඔවුහු කාය භෙදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් ඇති නරකයෙහි උපදිති. මාරය ඉක්බිති අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ, භික්ෂූන්ට මෙසේ කීහ. “මහණෙනි” දුසි මාරයා එව් තොප සිල්වත් වූ යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට බණිව්, නින්දා කරව්, ගටව්, වෙහෙසව්, තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දා කරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නා වූ , ඔවුන්ගේ සිතෙහි දුසි මාරයට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනවියි බ්‍රාහ්මණ ගෘහපතීන්හට ආවේශවී සිටියි. මහණෙනි, එන්න ඔබලා මෛත්‍රි සහගත සිතින් එක් දිසාවක් පැතිර වාසය කරන්න. එසේම දෙවනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතර වන දිශාවද මෙසේ උඩ යට සිරස සියලු තන්හි සියල්ලෙන් යුක්ත වූ ලෝකය මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවු, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරන්න. මුදිතා සහගත සිතින් පතුරවා වාසය කරන්න. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරන්නයි වදාළහ.

මතු සම්බන්ධයි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

No comments:

Post a Comment