Tuesday, 11 August 2015

කායානුපස්සනාව 04.

කායානුපස්සනාව

සිහිය ටැඹක් කරගන්න!

පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් ලියැවෙන ලිපි පෙළක තවත් කොටසකි. සූත්‍ර වර්ණනාවෙහි දැක්වෙන කරුණු විග්‍රහ කරමින්, සතිපට්ඨාන භාවනාව වැඩීමට මෙහිදී පසුබිම සකස් කරනු ලැබේ.

‘කය පිරිසිදු වීමෙන් සත්ත්වයා පිරිසිදු වෙන්නේ නෑ’ කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා; හිත පිරිසිදු වීමෙන්මයි සත්ත්වයා පිරිසිදු වෙන්නේ’.

සෝකපරිද්දවානං සමතික්කමාය’ සෝකය, පරිදේවය (සෝකය කියන්නේ හිතේ සෝක බවක්, සෝක කරන බවක්, පරිදේවය කියලා කියන්නේ නම කිය-කියා අඬන බවක්, ගුණ කිය-කියා අඬන බවක්. පපුවේ අත් දෙක ගහ-ගහා අඬන බවක් තියෙනවා නං ඒකට කියනවා පරිදේව) ඉක්මවීම සඳහාත්, දුක්ඛදෝමනස්සානං අතංගමාය: දුක්, දොම්නස් (දුක්ඛ කියලා කියන්නේ කයේ දුක. බඩගින්න, පිපාසයේ ඉඳලා කයට ඇති වන දුක්වලට කියනවා දුක්ඛ කියලා. සිතේ ඇති වන දුක්වලට කියනවා දෝමනස්ස කියලා) නැති කිරීම සඳහාත්, ඤායස්ස අධිගමාය: මාර්ගඵල ලැබීම සඳහාත්, නිබ්බානස්ස සච්ඡිකිරියාය: නිවන් සාක්ෂාත් කිරීම සඳහාත්, යදිදං චත්තාරෝ සතිපට්ඨානාති: මේ සතර සතිපට්ඨානයයි.

ඉහත කොටසට කියනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ සූත්‍ර වර්ණාව කියලා.

ඇයි බුදු රජාණන් වහන්සේ මේ ටික ඉස්සෙල්ලාම මතක් කළේ? යම් කිසි කෙනෙක්, වෙළෙන්දෙක්, රෙදි විකුණන කොට, ‘කම්බිලි, කම්බිලි’ කියලා වික්කොත්, හණ රෙදිවලින් හදපු කම්බිලිත් තියෙනවා. කෙස්වලින් හදපු කම්බිලිත් තියෙනවා. ඉතින් වුවමනාවක් තියෙන කෙනා වැඩි වුවමනාවක් කරන්නේ නැහැ ගන්න. බලන්න වුමනාවක් කරන්නෙත් නැහැ. කලාතුරකින් කෙනෙක් තමයි ගන්නේ. මොකද: කම්බිලි ජාති ගොඩක් තියෙන නිසා.

ඒත් යම්කිසි කෙනෙක් වටිනාකම කියලා කිව්වොත්, ‘කසී රටේ හදපු රන් කම්බිලි ගන්නවදෝ?’ කියලා වටිනාකමින් කිව්වොත් නම් සල්ලි තියෙන අය ගන්නවා; ඉතින් සල්ලි නැත් නම්, ‘කසී රටේ හදපු රන් කම්බිලි’ කියන්නේ මොනවද කියලා බලන්න වත් එනවා.

ඒ වාගේ මේ සූත්‍ර දේශනා කරන්න කලින් බුදු රජාණන් වහන්සේ පිරිසිදු බව ඇති කරගන්නත් සෝක පරිදේව ඉක්මවන්නත් දුක් දොම්නස් නැති කරන්නත් මාර්ග ඵල ලබන්නත් නිවන් අවබෝධ කරගන්නත් තියෙන්නේ කියලා මේකේ වටිනාකමව කිව්වහම, දැන් දන්න කෙනා දකින කෙනා, බොහොම වුවමනාවෙන් මේක වඩනවා. අනෙක් කෙනා බලන්නවත් එනවා, ‘මොකක්ද මේ?’ කියලා. අන්න ඒ සඳහායි මේ සූත්‍ර වර්ණනාව තථාගතයන් වහන්සේ මුලින්ම ඉදිරිපත් කරන්නේ.

මේ සූත්‍රය බුදු රජාණන් වහන්සේ දේශනා කළේ කුරුරටවාසී මනුෂ්‍යයන්ටයි. ඒ අය ස්වභාවයෙන්ම ඥාන සම්පත් ඇති, බුද්ධිමත් සත්ත්වයෝය කියලා කියනවා.

ඉතින් මෙතැනදී මේ සූත්‍ර වර්ණනාව තුළින්, දන්න කෙනාට අප්‍රමාදීව මේකෙන් කරන්න ඕන කියන ධර්මතාවට මනස යොමු කරවනවා; අනෙක් කෙනාට දුක් දොම්නස් නැති කරන්න. එහෙම නම් කොහොමද තියෙන්නේ කියලා බලන්න එන්න උනන්දුව ඇති කරවනවා. එහෙම බලන්න ආවහම ඒ එන කෙනාට ඉතුරු ටික වෙන්න ඕනේ මෙතැනින්ම විතරක් නොවෙයි. මේ උපායත් මේ ටික පෙන්නලා මෙතැනට ගෙන්නාගන්නයි. ආවහම ඉතුරුටික දීලා .මේ ටික දෙන්න ඕනේ.

ඉතින් මෙන්න මේ ආනිසංස දැකලා බොහෝ දෙනකුට මේකෙන් වන උපකාරය දැකලා, කරුණාවෙන් ම තමයි භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර වර්ණාව ඉස්සෙල්ලා දේශනා කළේ.

ඉහත ආනිසංස ලබන්නට වැඩිය යුතු පිළිවෙත ඊළඟට බුදු රජාණන් වහන්සේ දේශනා කළා. යදිදං චත්තාරෝ සතිපට්ඨානා: මේ සතර සතිපට්ඨානයයි. මෙහි හතරක් ම බෙදුවේ ඇයි? මම මුලින්ම මතක් කළා, හතර පොළක ඇති වන ආත්ම දෘෂ්ටිය දුරු කරන්නයි. ඒකෙ දී මොකක්ද හතර?

1.  ඉධ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං;

මහණෙනි, මෙහි මහණතෙම කෙලෙස් තවන වැර ඇතුව, මනා නුවණ ඇතුව, මනා නුවණින් යුක්ත වූ සිහියකින් දැඩි ලෝභය හා දොම්නස දුරු කරමින් ලෝභ, ද්වේෂ දෙක ඇති නොවන විදියට කයෙහි කය අනුව බලමින් වාසය කරනවා.

2. වේදනාසු වේදනානුපස්සි විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.

3. චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.

4. ධම්මේසු ධම්මානුපස්සි විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස.

කෙලෙස් තවන වැර ඇතුව, මනා සිහි නුවණින් යුක්ත ව ලෝභ, ද්වේෂ දෙක ඇති නොවන විදියට හික්මෙන්න කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ධර්මතා හතරක් තියෙනවා.

ආතාපි කියලා කිව්වේ වීර්යයට නමක්.

සම්පජානෝ කියල කියන්නේ නුවණ.

සතිමා කියලා කිව්වේ සිහිය.

විනෙය්‍ය ලෝකේ කියලා කිව්වේ ලෝකය, නැත් නම් ජීවිතය පිළිබඳ ඇල්ම දුරු කොට කියන අදහසයි.

විනෙය්‍ය කියන කොට විනය කොටස් දෙකක් තියෙනවා (මේ කාරණා ඔක්කෝම

අපි දැනගන්න ඕන). සංවර විනය, ප්‍රහාණ විනය කියලා.

1. ‘සංවර විනය’- සීල සංවරය, සති සංවරය. ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය කියලා පස් ආකාරයකට බෙදනවා.

i. සීල සංවරය: ප්‍රාතිමොක්ඛ සංවරයෙන් සංවරය කියලා පෙන්නන තැනදී සීල සංවරය ගත යුතුයි. ගිහි පින්වතුන්ගේ පන්සිල්, උපෝසථ අෂ්ටාංග සිල් ස්වාමීන් වහන්සේලාගේ සාමණෙර සිල්, උපසම්පදා සිල් වගේ ටික සීල සංවරය කියන තැනට අයිතියි. ඒකත් විනයයි. සීල සංවරය අයිති වන්නේත් විනයටයි.

ii. සති සංවරය: චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති. නානුබ්‍යඤ්ජනග්ගාහී යත්ථාධිකරණමේනං චක්ඛු ඉන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං තත්ථ සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛු ඉන්ද්‍රියං සංවරං ආපජ්ජති කියලා පෙන්නන තැනදී සති සංවරය. ඒ කියන්නේ ඇසින් රූපයක් දැක එහි නිමිති වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නේ නැහැ. චක්ෂුරාදි ඉන්ද්‍රිය අසංවර තැනැත්තාගේ සිතට යම් ලෝහ ද්වේෂදි පාපක අකුසල ධර්ම පැමිණේ ද එහි සංවර තැනැත්තාට එබඳු පාපී වූ අකුසල දහම් හටගන්නේ නැහැ.

iii. ඤාණ සංවරය: ඊට පස්සේ ‘යානි සෝතානි ලෝකස්මිං සති තේසං නිවාරයේ, සෝතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායතේ පීථියරේ කියලා මේ ලෝකයේ යම් තාක් කෙලෙස් නදී තියෙනවා නම්, ගංගාවල් තියෙනවා නම්, සිහියෙන් මේක වළක්වලා, ප්‍රඥාවෙන් මේක සිඳලා දානවා කියලා පෙන්වනවා. මෙන්න මේ තැන දී ඤාණ සංවරය කියනවා.

iv. ඛන්ති සංවරය: ඊට පස්සේ, ඛමෝ හෝති සීතස්ස, ඛමෝ හෝති උණ්හස්ස, කියලා, සීත ඉවසන්න ඕන, උෂ්ණය ඉවසන්න ඕන, මැසි මදුරු, අවුසුළං ඉවසන්න ඕනෑ බඩගින්න සාපිපාසාදිය ඉවසන්න ඕන. මෙන්න මේක ඛන්ති සංවරය: ඉවසීමෙන් සංවර වෙනවා.

v. විරිය සංවරය: විරිය සංවරය කියලා කියනවා උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්ති කරෝති. අනභාවං ගමේති, කාම විතර්ක ව්‍යාපාද විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, උපන් උපන් පාපක අකුසල ධර්මයෝ නැති කරන්න වීර්ය කරයි නම්, මෙන්න මේ පාපක අකුසල ධර්මයන්ගෙන් සංවර වෙන්න තියෙන වීර්යයි.

මේ විදියට සංවර විනය පස් ආකාරයයි. ඉහත දැක්වූ ධර්මතා ටිකේ තමයි අප හැසිරිය යුතු වන්නේ.

‘පහාණ විනය’ කියන-එක තදංග ප්‍රහාණ, වික්ඛම්භන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ, පටිප්පස්සද්ධි ප්‍රාහාණ, නිස්සරණ ප්‍රහාණ කියලා පහකට බෙදනවා.

i. තදංග ප්‍රහාණ: තදංග ප්‍රහාණය කියන්නේ මේ ධර්මතා එකින් එකට පටිබද්ධයි. රාගාදි අරමුණක් දැන් ඇති වුණොත් ඒ මොහොතේ ම අශුභ වශයෙන් බලන කොට තදංග වශයෙන් රාගය අත්හැරෙනවා. ද්වේෂයක් ඇති වුණොත් ඒ වෙලාවේ දී මෛත්‍රී සිත මෙනෙහි කරනවා. තදංග වශයෙන්, ඒ මොහොතට යට යනවා.

ii. වික්ඛම්භන ප්‍රහාණ: ඉහත දැක්වූ විදියට තදංග වශයෙන් නැති කරන කොට වික්ඛම්භන කියන මට්ටමට පත් වෙනවා. වික්ඛම්භන කියලා කියන්නේ කල්ප ගණනකට කෙලෙස් නැගිිටින්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. සමහර විට උත්කෘෂ්ට (නේවසඤ්ඤානාසඤ්ඤාා) වශයෙන් වැඩුවාම මහා කල්ප අසූහාරදාහක් යන කල් කෙලෙස් ඇති වෙන්නේ නැහැ.

iii. සමුච්ඡේද ප්‍රහාණ: වික්ඛම්භන තත්ත්වය නැවත නැවතත් කරද්දී නුවණ හා එකතු වෙලා සමුච්ඡේද වශයෙන් කෙලෙස් ඉතුරු නැතුවම නැති කරනවා. ඒක කෙරන්නේ මාර්ගඥානයෙනුයි.

iv. පටිප්පස්සද්ධි ප්‍රහාණ: සමුච්ඡේද වශයෙන් කෙලෙස නැති කිරීම හේතු වෙනවා පටිප්පස්සද්ධි - කෙලෙස් සංසිඳෙනවා කියන තැනට. ඒ කියන්නේ මාර්ගයට අනතුරුව ලැබෙන ඵලයෙ’මට්ටමයි.

v. නිස්සරණ ප්‍රහාණ: නිස්සරණ ප්‍රහාණය කියන්නේ නිවනයි. සියලු කෙලෙසුන්ගෙන් ඉවත් වීම, මිදීම, නැති කිරීම, වෙන් වීම, නිස්සරණයයි.

ඒ නිසා ලෝභ දෝෂ දෙකේ හික්මෙන්න කියන කොටත් ඔන්න ඔය ටික තේරුම් කරගත යුතුයි. ඔන්න ඔය ටික තමන් සන්තකයේ තියාගෙන මේ විනය මේ තැන දක්වා වඩන්න ඕන, වැඩෙන්න ඕන කියන ටික තේරුම් අරගෙන මේ සතිපට්ඨාන සූත්‍රය අපි සාකච්ඡා කරමු.

එතකොට සතිපට්ඨානයේදී – (සතිපට්ඨාන කියන්නේ ඇයි? සතියා පට්ඨානං සතිපට්ඨානා, සිහියේ පිහිටුවීම සතිපට්ඨානයයි) මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා කියන්නේ සිහිය පිහිටුවන්න තියන ධර්මතා හතරක්. මේ හතර තැන්හි තමයි හැම වෙලාවෙම අපේ සිහිය පිහිටුවන්න තියෙන්නේ. ඒ හතර තැන්හි සිහිය පිහිටුවන්න ඕන කොහොමද? ආතාපී සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වැර ඇතුව, මනා නුවණින් යුක්ත වූ සිහියක් තියෙන්න ඕන. ලෝභ, දෝෂ දෙක හික්මෙන විදියේ සිහියක් තියෙන්න ඕන. එතකොට මෙතැන දී මේ සතිපට්ඨානය කියන-එක වඩන්න පුළුවන් එකක්. සතිපට්ඨානය, වඩන කොට වැඩෙන්න ඕන එකක්.

මම පොඩි උපමාවක් මතක් කරන්නම්. සංයුක්ත නිකායේ තියෙනවා ඡප්පාණක කියලා සූත්‍රයක්. මම කෙටියෙන් මතක් කරන්නම්: මේ සූත්‍රයේ තියෙනවා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා සත්තු හය දෙනෙක් ගැන. නරියා, බල්ලා, කිඹුලා, කපුටා, නයා, වඳුරා වශයෙන්. ලණු කෑලි හයක් අරගෙන ඒ සත්තු හයදෙනාගේ නැටි හයේ බඳිනවා. ඒ කියන්නේ නරියෙක්ගේ වලිගයේ ලණු කෑල්ලක් බඳිනවා. බල්ලෙක්ගේ වලිගයෙත් ලණු කෑල්ලක් පටලවනවා. කිඹුලෙක්ගේ නැට්ටෙත් ලණු කෑල්ලක් පටලවනවා. කපුටෙක්ගේ නැට්ටෙත් ලණුවක් පටලවනවා. නයාගේ වලිගයෙත්

ලණුවක් පටලවනවා. වඳුරාගේ වලිගයෙත් ලණුවක් පටලවනවා. මේ සත්තු හයදෙනාගේ නැටි හයේ ලණු කෑලි හයක් බැඳලා ලණු කෑලි හයම එකට එකතු කරලා ගැටයක් ගහලා අතහරිනවා.

නානා ගති, නානා අදහස් ඇති සත්තු හය දෙනෙක් නිසා මේ හය දෙනා හය පැත්තට අදිනවා නේ. අදින කොට ලොකු කැලඹීමක් හටගන්නවා. අපි කියමු නරියා අදිනවා සොහොනට යන්න. බල්ලා අදිනවා ගමට යන්න. කිඹුලා අදිනවා වතුරට යන්න. කපුටා හදනවා අහසට පියාඹන්න. නයා හදනවා තුඹසට යන්න. වඳුරා හදනවා ගහට යන්න. මේ වාගේ එහාට-මෙහාට අදිනවා. ඔහොම අදිමින් ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනික් ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තටම යනවා. ඇයි? දැන් ඔක්කෝගෙම නැටි ටික බැඳලා ඉතුරු කෙළවරවල් ටික එකට ගැටගහලා නේ තියෙන්නේ.

ඒ වාගේ, බුදු රජාණන් වහන්සේ මේක උපමා කරනවා සතිපට්ඨානය නොවඩන ලෝකයාගේ මනසට. නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනා වගේ තමයි ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. එතකොට දැන් ඒවා ඔක්කොම නැටි ටික එකට ගැටගහලා වගේ, අපි මේ ආයතන ටික එකට ගැටගහලා තියෙන්නේ. පේන දේ අහන්න පුළුවන්; ඇහෙන දේ පේනවා; පේන දේ ගඳ-සුවඳ බලන්න පුළුවන්; ගඳ-සුවඳ දැනෙන එකයි මේ පේන්නේ කියලා දැන් අපි මේ ආයතන ටික ඔක්කෝම එකට ගැටගහලායි තියෙන්නේ. දැන් ඇහැ අදිනවා රූප බලන්න: කන අදිනවා සද්ද අහන්න; නාසය අදිනවා ගඳ-සුවඳ බලන්න; දැන් එහාට මෙහාට ලොකු කැලඹීමක්. මේ විදියට හිත-හිතා ඉන්නවා කියන්නේ ඔය සත්තු ටිකේ ඇදීමටයි. ඉතින් එකෙක් බලවත් වුණහම ඔක්කෝම ටික ඇදගෙන යනවා. ටීවී-එකක් එහෙම දාලා, ලස්සන නාට්‍යයක් යනවා කියන්නේ ඔන්න දැන් එක සතෙක් බලවත්. අනික් එවුන් ඔක්කෝම මතක නැහැ; ඔක්කෝම ටික ඇදගෙන එක සතෙක් යනවා වගේ. දැන් ඉතින් රූප බලනවා. අනිත් ඔක්කොම ටික ඒ අනුව පවතිනවා.

ඔන්න එතැනින් නැගිටින කොටම දැන් ලස්සන සින්දුවක් යනවා කියන්නකෝ. දැන් ඒක අහනවා. ඒ කියන්නේ දැන් ඔක්කෝම සත්තු ටික ඇදගෙන අනික් සතා යනවා. ඔන්න ඔය වගේ පෙන්නුවා ලෝකයාගේ මනස.

දෙවනුවට ආයෙත් උපමාවක් පෙන්නුවා. ඒ වගේ නානා ගති ඇති, නානා අදහස් ඇති සත්තු හයදෙනෙක් ඉන්නවා. මේ සත්තු හයදෙනාව අර වගේ අරගෙන නැටි හයේ ලණු කෑලි හයක් බඳිනවා. බැඳලා ඉතුරු කෙළවරවල් ටික ඔක්කෝම අරගෙන කණුවක හරි, ටැඹක හරි බඳිනවා. දැන් බැන්දහම වෙනදා පුරුද්දට අර සත්තු එහාට-මෙහාට අදිනවා. හොඳට බලන්න. කණුවේ බැන්දා කියලා, බැඳපු ගමන්ම හීලෑ වෙනව ද? නෑ. එහාට අදිනවා. මෙහාට අදිනවා. හැබැයි වෙනදා වගේ ඇදගෙන යන්න බැහැ. ඔහොම ඇදල, ඇදලා ඒ අයට ම එපා වෙලා, කණුව මුල ම වැතිරිලා ඉන්න දවසක් එනවා.

මේ ටික දේශනා කරලා, බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. ‘මහණෙනි, මම සතිපට්ඨානය ටැඹකට උපමා කරමි. කණුවකට උපමා කරමි’ කියලා.

මේ සතිපට්ඨානය වඩන්න පෙර, නොයෙක් අරමුණුවල හිත ඇදගෙන ගියා; වෙනදාට ඇදගෙන යන්න පුළුවන් වුණා. ඒත් සතිපට්ඨාන භාවනාව පටන්ගත්තාට පස්සේ ඇදගෙන යන්න බැරි වෙනවා. හැබැයි සත්තු එහාට මෙහාට නො අදිනවා නොවෙයි; අදිනවා. එහෙත් ඇදගෙනම යන්න බැරි වෙන්න ඕන.

ඔන්න ඔය උපමාවත් පොඩ්ඩක් මතක තියාගන්න. මම පසුව විස්තර කරනවා.

මෙන්න මේ විදියට සිහිය කියන-එක ටැඹක් බව මතක තියාගන්න. කණුවක් බව මතක තියාගන්න. හිත බැඳගන්න ඕනේ-එකක් හැටියට මතක තියාගන්න. ඒ කියන්නේ අපි සති නිමිත්තක හිත තියාගෙන මේ සතිපට්ඨාන භාවනාව කළ යුතුයි කියලයි මම ඔය ඇත්තන්ට මතක් කරන්නේ.
ඔබ සැමට තෙරුවන් සරණයි!

No comments:

Post a Comment