Monday, 17 August 2015

බුදුදහම හා මාර සංකල්පය 03.



බුදුදහම හා මාර සංකල්පය 03
භික්ෂූන් නොමඟ යැවීමට උත්සාහගත් මාරයා

 සත් වසක් මුළුල්ලේ බුදුරදුන්ගේ වරදක්, අඩුවක් සොයමින් ලුහු බැඳි ඒ (පාපී) මාරයා සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන සංයුක්ත නිකායෙහි එන සත්තවස්ස සූත්‍රය විස්තර කළෙමු. ඒ තුළින් මාරයා පිළිබඳ යම් අවබෝධයක් ඇතිකර ගන්නට ඇතැයි විශ්වාස කරමු.

අද දින අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ සංයුත්ත නිකායෙහිම ඇතුළත් වන ‘සම්බහුල’ නම් සූත්‍රය විස්තර කිරීමටයි. එහි දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේට නුදුරෙහි කෙලෙස් තවන වීර්යයෙන් යුතුව නුදුරෙහි භාවනායෝගීව සිටි තරුණ භික්ෂු පිරිසක් වෙත මහළු බමුණු වෙස් ගෙන පැමිණි මාරයා කම්සැප විඳීමෙහි අගය පසසමින් භික්ෂූන්ට කරුණු කියා දී අවසානයේ භික්ෂූන් ප්‍රතික්ෂේප කළ නිසා නොසතුටු සිත් ඇතිව දුර්මුඛව ඉවත්ව ගිය අයුරු ය. එය පෙළ දහම ඇසුරින් මෙතැන් සිට විස්තරව විමසා බලමු.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රටෙහි සීලාවතී ගමෙහි වැඩ වසනසේක. එකල බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට නොදුරුරෙහි, එළඹ සිටි සිහි ඇතිව, කෙලෙස් තවන වීර්ය ඇතිව, නිවන්කරා මෙහෙයූ සිත් ඇතිව, වෙසෙත් කල් ගෙවන සේක. එකල්හි පාපී මාරයා බමුණු වෙසක් මවාගෙන මහත් ජටාවක් බැඳගෙන, අඳුන් දිවි සමක් හැඳ පොරවාගෙන, මහළුව ඇද වූ පරාලයක් සේ වක් වූ ශරීරයක් ඇතිව 'ගුරු ගුරු' යන හඬින් හුස්ම පිට කෙරෙමින් දිඹුල් සැරයටියක් අතින් ගෙන, ඒ භික්ෂූහු යම් තැනක භාවනානුයෝගීව වැඩ සිටිත් ද එතැනට පැමිණියේ ය. පැමිණ ඒ භික්ෂූන්ට මෙසේ පැවසූහ.

“ඔබලා ළපටිය. තරුණය, කාලවර්ණ කෙස් ඇත්තාහ. මනා තරුණ භාවයෙන් යුක්තයහ. එහෙත් ඔබලා කම්සුව නොවිඳින්නාහ, ඔබේ වයසේ සිටින මිනිස්සු කම් සැප විඳිති, එසේ මිනිසුන් විසින් විඳීමට සුදුසු වූ කම්සැප අත්හැර මේ ආත්මයේ විඳිය යුතු ඒ කම් සැප අතහැර මෙසේ වනගතව සිටීම ඔබලා වැනි අයට සුදුසු නොවෙති. එබැවින් දැන් මේ ආත්මයෙහි විඳිය යුතු සැප හැර, කල් ගොසින් විඳියුතු සැපක් ඔස්සේ නොදුවන්න” යනුවෙන් පැවසීය.

“දහරා භවන්තො පබ්බජිතා සූසු කාළකෙසා භද්‍රෙන යොබ්බනෙන සමන්නායනා පඨමෙන වයසා අනික්කිළිතාවිනො කාමෙසු, භුඤ්ජන්තු භවන්තො මානුසකෙ කාමේ, මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිත්ථා”ති

එවිට ඒ භික්ෂූහු මහලු බමුණාට මෙසේ පැවසූහ. බමුණ මේ ආත්මයෙහි දී වින්දයුතු සුව හැරදමා කල් ගොසින් ලැබෙන සැපක් ඔස්සේ අපි නොදුවමු. බමුණා, කල් ගොසින් ලැබෙන සැප හැර දමා මෙ ආත්මයෙහිදීම ලැබිය යුතු සැප ඔස්සේ දුවමු. කම්සැප වනාහි කල් ගොසින් ලැබෙන දෙයක, බොහෝ දුක් ඇති එකකි. දැඩි වෙහෙස ඇති එකකි. මෙහි දොස් බොහෝ වෙයි. එසේම මේ ලොවුතුරා දහම වනාහි මේ ආත්මයෙහිම තමා විසින්ම වින්දයුතුය. කල් නොයවා සැප පල දෙන ස්වභාව ඇත්තේ ය. එව බලවයි කියයුතුය. තම සිත්හි පමුණුවාලීමට සුදුසු ය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැයි ද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දකි යනුවෙනි ඒ පාපී වූ මාරයාගේ අදහසට ප්‍රතිවිරුද්ධ වූ අදහසක් ඉදිරිපත් කරමින් තමන් වහන්සේලාගේ නිවැරැදි වූ පිළිවෙත පහදා දුන්හ.

“න ඛො මයං, බ්‍රාහ්මණ, සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාම, කාලිතඤ්ච ඛො මයං, බ්‍රාහ්මණ, හිත්වා සන්දිට්ඨිකං, අනුධාවාම කාලිකා හි, බ්‍රාහ්මණ, කාමා චුත්තා, භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො ඵත්ථ හිය්‍යො සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඕපනෙය්‍යිකො පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී”තී.

මෙසේ තමාගේ අදහස් ඉටු නොවන බව දුටු පාපී මාරයා තම හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නලළෙහි තුන් රැළි නංවා, සැරයටියට බරව නික්ම ගියේ ය.

එවං චුත්තෙ, භන්තෙ, සො බ්‍රාහ්මණො සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාලෙන්වා තිව්සාඛං නලාටෙ නලාටිකං වුට්ඨාපෙත්වා දණ්ඩමොලුබහ පක්කන්තො”ති

ඊට පසු ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මහලු බමුණු වෙසින් පැමිණි මාරයා තමාට පැවසූ සියල්ලත්, තමන් වහන්සේලා මාරයාට දුන් පිළිතුරුත් එලෙසින් ම පැවසූහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන් වහන්සේලාගේ පිළිතුර අගය කරමින්, ඒ මහලු වෙසින් පැමිණියේ බමුණෙක් නොව පාපී වූ මාරයාම බව පැවසූහ. එසේ ඔහු පැමිණියේ ඔබලාගේ අදහස් වෙනස් කරමින්, නොමඟ යවා නිර්වාණගාමී මාර්ගයට බාධා කරමින් ඇස් වසා ලන්නට බව දේශනා කළහ.

“යො දුක්ඛමද්දක්ඛී යතොනිදානං - කාමෙසු සො ජන්තු තථං නමෙය්‍ය,
උපාධිං විඳිත්වා සංගොති ලොකෙ – තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ”ති

යමෙක් පස්කම් සැප, දුක් මුල්කොට පවතීයයි දකින්නේද? ඔහු ඒ කම්සැප කෙරෙහි කෙසේ නම් නැමිය හැක්කේ ද? නොනැමෙන්නේමය. කම්සැප ලොව සතුන් ලැගෙනා දේ යැයි, අල්වා ගන්නේ යැයි දැන ඔහු එයම දුරලනු පිණිස හික්මෙන්නේ ය.

මෙම සූත්‍රයෙන් පැහැදිලි වන එක් කරුණක් වන්නේ පාපී මරයා සසරින් එතෙරවීමට උත්සාහ කරන අය කෙරෙහි දැඩි තරහක් ඇති බවයි. එමෙන් ඔහු ඒ ගමන් මඟ වළක්වා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන බව තේරුම්ගත හැක. මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් නිවාප සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ උපමානුසාරයෙන් මාරයා හා ඔහුගේ විෂය මෙසේ දක්වා ඇත.

නිවාපොති ඛො, භික්ඛවෙ, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචන, නෙවාසිකොති ඛො, භික්ඛවෙ, මාරස්සෙතං, පාපීමනො අධිවචනං නෙවාපිකපරිසාති ඛො, භික්ඛවෙ, මාරපරිසායෙතං අධිවචනං මිගජාතිති ඛො, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා මෙතං අධිවචනං

නිවාප (තණ කොටුව) යනු පංචකාම ගුණයට නමෙකි. වැද්දාගේ පිරිස යනු මාරපිරිසට නමෙකි. මුව සමූහයා යනු මහණ බමුණන්ට නමෙකි.

නිවාප යනු වාසය කරන ස්ථානයයි. මාරයා වාසය කරන ස්ථානය මෙහිදී අදහස් කොට ඇත. එනම් පංචකාමයන්. වැද්දා තණ වගා කරන්නේ එහි ලැඟීමට එන, තණ අනුභවයට එන මුවන් අල්ලා ගැනීම සඳහා ය. වැද්දා නමැති මාරයා පංච කාම නමැති තණ බිමෙහි වාසයට එන මුවන් නම් වූ ලාමක ජනයා ඉතා පහසුවෙන් අල්ලා ගනී. මත්වීමට හා ප්‍රමාදයට පත් මුව රංචු තුනක් මෙසේ වැද්දාගේ උගුලට අසු වන අතර වැද්දා හා ඔහුගේ පිරිස පහසුවෙන්ම ඔවුන් අල්ලා ගනිති. එහෙත් සිව්වැනි මුව රංචුව වැද්දාගේ තණබිමට නොයති. වැද්දා හා ඔහුගේ පිරිසට ඔවුන් අල්ලා ගැනීමට නොහැකි වෙති. වැද්දාට හසුවන මුව පිරිස ලෙස අර්ථවත් වන්නේ පංචකාමයන්ගේ ඇලී ගැලී වාසය කරමින් මදයට හා ප්‍රමාදයට පත්වන ජනයාය. වැද්දාට හසුනොවන මුව පිරිස නම් පංචකාම නමැති තණබිමින් ඉවත් වී සසර කතරෙන් එතෙරවීමට උත්සාහ ගන්නා ධ්‍යාන වඩමින් කුසල් දහමෙහි නිරත වන සම්බුදු ශ්‍රාවකයන්ය.

මතු සම්බන්ධයි
ශාස්ත්‍රපති,
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

No comments:

Post a Comment