Monday, 10 August 2015

කායානුපස්සනාව 03.

කායානුපස්සනාව: මොකක්ද මේ අවිජ්ජාව?


කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

සතිපට්ඨානය වඩන්නට මනස තුළ පසුබිම සකසන ලිපි පෙළක තෙවැනි කොටසයි. මෙවර ‘අවිද්‍යාව කුමක්ද?’ යන තේමාව ඔස්සේ කරුණු ඉදිරිපත් කැරේ.

සතිපට්ඨානය වඩන්න ඉස්සර වෙලා, මෙන්න මේ ටික තේරුම් කරගන්න. ඕකට මම පොඩි උපමාවක් කියලා ඊට අනුව උපමේය මතක් කරන්නම්: අපි කියමු අපි ඉන්න තැනට ටිකක් ඈතකින් හේනක් තියෙනවා, කුඹුරක් තියෙනවා කියලා. ඔය හේනේ, ඔය කුඹුරේ පඹයෙක් ඉන්නවා. දැන් අපි ඉන්න තැනට ගොඩාක් ඈත නිසා පඹයා බව පැහැදිලිවම නොපෙනෙනකම නිසා, පඹයා වූ තැන ‘මනුස්සයෙක් ඉන්නවා’ කියන අදහසක් අපට ඇති වෙනවා; අතන ‘සත්ත්වයෙක් ඉන්නවා’ කියලා අදහසක් ඇති වෙන්න පුළුවනි.

දැන් හොඳට බලන්න; ‘මනුස්සයෙක් ඉන්නවා’, ‘සත්ත්වයෙක් ඉන්නවා’ කියන අදහසක් අපට ඇති වුණා නම් මේ අදහස ඇති වෙන්නට හේතු මොනවාද කියලා බලන්න. කෝටු කෑලි ටිකක් හිටුවලා, මුට්ටියකුත් නවලා, කලිසමකුත් කමිසයකුත් අන්දපු පඹයෙක් ඉන්නත් ඕනෙ. ඊට පස්සේ පඹයා බව නොදන්නාකම තියෙන්නත් ඕනේ. ඒකත් හොඳම ප්‍රත්‍යයක්-හොඳම හේතුවක්. මේ ධර්මතා දෙකම නිසා සත්ත්වයෙක් කියන අදහස ඇති වෙනවා. දැන් සත්ත්වයා කියන අදහසට ළඟම හේතුව මොකක්ද? අවිද්‍යාවයි. අවිජ්ජා පච්චයා සංඛාරා.

නොදන්නාකම නිසයි මේ අදහස - සංස්කාර හටගන්නේ. නොදන්නාකම මොකේද? පඹයාගේයි. පඹයා කියන ලී කෑල්ලෙ කෝටු ටික, මුට්ටිය ආදි ඔය ටික උපකාරයි, මොකටද? ඇත්ත නොදකිනවා කියන ධර්මතාවට. ඇත්ත නොදකිනවා කියන ධර්මතාව උපකාරයි: මොකේටද? වැරදි අදහසක් ඇති කරනවා කියන ධර්මතාවට. දැන් මේ මනුස්සයෙක් ඉන්නවා, සත්ත්වයෙක් ඉන්නවා කියන අදහසට ළඟම තියෙන කාරණාව හැටියට පෙන්නන්න වෙන්නේ මොකක්ද? ඒ තමයි අවිද්‍යාව.

අවිජ්ජා පච්චයා සංඛාරා: ඇත්ත ඇති හැටියට නොදන්නාකම නිසා ඇති වෙච්ච අදහසක්.

ඊට පස්සේ සංඛාර පච්චයා විඤ්ඤාණං: සත්ත්වයෙක් ඉන්නවා කියලා අදහසක් ඇති කරගත්තොත් අපි දැනගන්නේ සත්ත්වයෙක් ඉන්නවා කියන මට්ටමයි. එතැනයි දැන් අපේ හිත තියෙන්නේ – අපේ දැනුම තියෙන්නේ.

ඔන්න දැන් විඤ්ඤාණ පච්චයා නාමරූපං: මෙතැන තියෙන ප්‍රශ්නය ඕකයි. දැන් දැනගත්ත විදියටයි නාම රූප-දෙක පෙනෙන්නේ. ඒ කියන්නේ, පඹයා බව නොදන්නාකම නිසා මනුස්සයා කියන අදහසක් ඇති වුණා. ඒ මනුස්සයා කියන අදහස ආපහු නැඹුරු වෙලා තියෙන්නේ පඹයා පැත්තටයි. ‘මනුස්සයා’ කියලා බලන්නේ පඹයා දිහායි.

ආයිත් චක්‍රය: නාම-රූප දෙක පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා ඇති කරගත්ත අදහස ආපහු විඤ්ඤාණ පච්චයා නාමරූපං කියල ඒ නාම රූප දෙකටමයි නැඹුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පඹයා වූ තැන, පඹයා බව නොදන්නාකම කියන ක්ලේශය නිසා අපි ‘මනුස්සයා’ කියන වැරදි අදහසක් ඇති කරගත්තා. ඊට පස්සේ මේ ‘මනුස්සයා’ කියන අදහසින් යුක්තව දැනගත්තාම ඒ දැනගැනිල්ලෙන් ආයෙත් බලන්නේ කුමක් දිහාද? පඹයා දිහාමයි. ‘අර මනුස්සයා’ කියලා පඹයා දිහායි බලන්නේ. දැන් පඹයා බව පෙනෙනඑක අවිද්‍යාවෙනුත්, සංස්කාරයෙනුත් කියන කෙලෙස් දෙකකින්ම වැහිලා.

ඔය මට්ටමක ඉඳගෙන මේ හේතු ටික දන්නේ නැතුව මනුස්සයෙක් නෑ නේ, සත්ත්වයෙක් නෑ නේ, පුද්ගලයෙක් නෑ නේ කියලා බැලුවාට අර හේතු අහු වෙන්නේ නෑ.

ඔය උපමාව වගේ උපමේය තමයි: අර පඹයා වගේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියලා කුණප කොටස් තිස්දෙකක් – සත්ත්ව පුද්ගලභාවයට අයිති නැති කොටස් තිස්දෙකක් – තියෙනවා. කන–බොන ආහාරයෙන් මේ කොටස් තිස්දෙක හැදෙනවා. ආහාරය නැති වෙන කොට රූපය නැති වෙනවා. ඔන්න රූපයේ ස්වභාවය. ඔන්න එක කොටසක්.

ඊට පස්සේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම, කියන අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඤ්ඤාණය මේ කයේ බැඳිලා තියෙනවා.

රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා. රස තණ්හා, ස්පර්ශ තණ්හා කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඤ්ඤාණය මේ කයේ බැසගෙන තියෙනවා.

දැන් ඒක වෙන එකක්.

හරියට කෙනෙක් අස්සයෙක්ගේ පිටේ නැඟලා ඉන්නවා, ඇතෙක්ගේ පිටේ නැඟලා ඉන්නවා වගේ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි අරමුණු කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඤ්ඤාණය මේ කයේ නැගගෙන ඉන්නවා. මේ කයේ පිහිටලා, කයේ හිටගෙන, කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් තමයි රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ-සුවඳ ලබන්නේ. මේ කයට චුට්ටක් වත් සිත සම්බන්ධ නෑ. ඇතාගේ හෝ අස්සයාගේ පිට උඩ නැඟලා ඉන්න කෙනා වාගේ සිත මෙහි පිහිටලා ඉන්න හදනවා. මේ රූපයේ පිහිටා සිටින හිතෙන් රූප බලනවා; ශබ්ද අහනවා. එවිට ඒ හිත නම් කරනවා චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය... කියලා.

ඊට පස්සේ මේ හිත නිසා මේ කයේ සෙලවීම වෙනවා. මේ කයට මොකුත් කරන්න බෑ. යන්න ඕනෑ කිව්වහම හිතෙන්ම යන්න ඕනෑ කියන අදහසට වායෝ ධාතුව උපද්දනවා; විඤ්ඤත්ති රූප උපද්දනවා. ඊට අනුව මේ කය සෙලවෙනවා. අර ඔළුබක්කො නටවනවා කියල එකක් තියෙන්නේ. දැකලා ඇති නේද? අර ලොකු රූපයක් ඇතුළට කෙනෙක් බැහැලා ඒක ඇතුළෙහි ඉඳන් නටන කොට ඇතුළෙහි නටන කෙනා පිටට පේන්නේ නෑ; පිටින් අර ඔළුබක්කා එන්නේ. ඒ වගේ මේ විඤ්ඤාණය මේ කයට බැහැගත්තහම, චුට්ටක් වත් හිතන්න එපා මේ කය ‘මම’ කියලා. මේක නිකම්ම නිකං වාහනයක චැසියක් වගෙයි: නිකම්ම නිකං රූපයක්. මේ රූපය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් තමයි මේ හැම අරමුණක්ම දකින්නේ, අහන්නේ, හිතන්නේ. ඒ හිතෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ.

ඕන නම් අපට ටිකක් තර්කානුකූල ව හිතිය හැකියි. කය මෙහෙමම තිබුණත්, හිත නිරුද්ධ වුණහම, විඤ්ඤාණය නිරුද්ධ වුණොත් එදාට රූප පෙන්නේ නෑ නේද? ශබ්ද ඇහෙන්නේ නෑ නේද? ගඳ-සුවඳ දැනෙන්නේ නෑ නේද? එහෙනම් ඇත්ත තමයි: මේ කයට ඇහෙන්නේ පේන්නේ නෑ. කයේ පිහිටලා ඉන්න හිතෙනුයි මේවා දකින්නේ අහන්නේ කියන-එක තමන් තර්කානුකූලව දකිනවා.

එතකොට මේ හිතයි කයයි කියන දෙන්නා එකතු වෙලා කරන කටයුත්ත ගැන පිරිසිඳ නොදන්නාකම නිසා ‘මම රූප බලනවා, මම සද්ද අහනවා’ කියන මට්ටමක් අපට උපාදාන වෙලා තියෙනවා. එහෙම වුණාමයි මේ භවය හිටින්නේ. එහෙම වුණාමයි දැකපු දේ දැක්කයින් පස්සේත් තියෙනවා කියන මට්ටමේ හිටින්නේ.

නාම–රූප දෙක පිරිසිඳ දකිනවා කියලා කියන්නේ කය වෙනම බලනවා; ඒකට හේතු ටික වෙනමම බලනවා. හිත කියන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතින හිතයි. ඒ හිතට කය සම්බන්ධ නැහැ. කය කියන්නේ හිටගෙන ඉන්න තැනක් විතරයි. මේ කය හිතට පොළොවක්. එච්චරයි. එතකොට ඒ හිත කියන්නේ, නාම කය කියන්නේ මෙන්න මේ දේ නේද කියලා පිරිසිඳ දකිනවා. හිතයි කයයි කියන ඔන්න ඔය ධර්මතා දෙක නිසා තමයි රූප බලනවා, ශබ්ද අහනවා, ඉරියව් පවත්වනවා කියන සිද්ධිය වෙන්නේ. මේ නාම-රූප දෙක පිරිසිඳ නොදන්නා නිසා, නොදක්නා නිසා ‘මම’ කියන අදහසක් ඇති වෙලා. පඹයා, පඹයා වශයෙන් නොදන්නාකම නිසා තව සතෙක් කියන අදහස ඇති වුණා වගෙයි. මේ රූපයත්, නාමයත් කියන දෙක දකින්න පඹයා වගේ. ඒ දෙක ධර්මතා දෙකක් නේද? ඒ දෙකෙන් වෙන වෙනම කෙරෙන කටයුතු නොදන්නාකම නිසා මේ තව සත්ත්වයෙක්, මේ පුද්ගලයෙක්, මේ ‘මම’, කියන අදහසක් ඇති වෙලා. එතකොට මේ නාම-රූප දෙක නොදන්නාකම නිසා ‘මම’, සත්ත්වයෙක්’, ‘පුද්ගලයෙක්’ කියන අදහසක් ඇති වුණාම ඒ අදහස ආපහු නැඹුරු වෙලා තියෙන්නේ කොහාටද? අර නාම-රූප දෙකටමයි.

අපි කියමු: සත්‍ය වශයෙන් පඹයයි ඉන්නේ කියලා නොදන්නාකම නිසා මනුස්සයා කියන වැරදි අදහසක් ඇති වුණාම, එම අදහසෙන් බලන්නේ ආපහු පඹයා දිහාමයි. එවිට මනුස්සයෙක් ආකාරයෙන් පඹයයි පේන්නේ. ඒ වගේ කන-බොන ආහාරයෙන් යුක්ත රූපයත්, ඒ රූපය ඇසුරු කරගෙන ඉන්න නාමත් (එනම් සිතත්) කියන ධර්මතා දෙක පිරිසිඳ නොදන්නාකම නිසා, ‘මම’ කියන අදහසක් ඇති වෙනවා.

අන්න දැන් බලන්න: ‘මම’ කියන අදහස අවිජ්ජා පච්චයා සංඛාරා – නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙච්චි අදහසක්. එවිට; සංඛාර පච්චයා විඤ්ඤාණං - හිතපු විදියටයි ‘මම’ කියලා දැනගන්නේ. විඤ්ඤාණ පච්චයා නාම රූපං දැනගත්ත-එක නැඹුරු වෙලා තියෙන්නේ, ආපහු මේ රූපය මගේ, මේ වේදනාව මගේ, සඤ්ඤාව මගේ, සංඛාරය මගේ, විඤ්ඤාණය මගේ කියලා දැන් අපට පේන්නේ එහෙමයි. දැන් බලන්න අපට මේ කය මගේ වගේ වෙලා පේන්නේ මෙහෙම රවුමක් ගිහිල්ලා.

ඔන්න අපට වෙලා තියෙන දේ දකින්න. එතකොට මෙන්න මේ ටික එයා දන්නවා: නාම-රූප දෙක පිරිසිඳ නොදැක්කොත්, ඒ අවිද්‍යාවෙන් කර්මය - චේතනාව ඇති වෙනවා. ඒ චේතනාවට අනුව මේ නාම-රූප දෙක ඒ විදියට පෙනී හිටිනවා. මෙහෙම නේද ‘මම’ හැදිලා තියෙන්නේ, මෙහෙමයි ලෝකය හැදෙන්නේ කියන කාරණාව එයාට තේරෙනවා. ඒ හින්දා මෙයා ‘මම නෑ’ කියන්නේ නෑ. රූපය කොටස් කොටස් වශයෙන් බලනවා; කන-බොන ආහාර නිසා මේ රූපය හැදිලා තියෙන්නේ කියලා බලනවා; බලලා, ‘මම නැහැ’ කියන්නේ නෑ. මේ රූපය ඇසුරු කරගෙන මේ හිත පවතින නිසා මේ ඉරියව් පවතිනවා නේද, කියලා දකිනවා. මේ නාම-රූප දෙක පිරිසිඳ නොදැක්කොත්, ‘මම’ කියන අදහසක් ඇති වෙන්න පුළුවන් නේද කියලා ‘මම’ ඇති වෙන හැටි දකිනවා; බලනවා. මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත්, යම්කිසි කෙනෙක් මේක ‘මම’ කියල ගන්නේ නෑ නේද? මෙලෙස ඔහු ‘මම’ කියන-එක ඇති වෙන හැටිත් දන්නවා; නැති වෙන හැටිත් දන්නවා - සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී. ඒ හින්දා ‘මම නෑ’ කියන අන්තය ගන්නෙත් නෑ; ‘මම’ ඉන්නවා කියන අන්තය ගන්නෙත් නෑ. ඇයි? මේ රූපය කියලා ආහාරයෙන් හටගත්ත මෙන්න මෙහෙම ධර්මතාවක් තියෙන්නේ, ඒ කය ඇසුරු කරගෙන පවතිනවා මේ හිත, ඒ හිත නිසයි මේ ඉරියව් පැවැත්ම වෙන්නේ කියලා නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් මේක සත්ත්ව-පුද්ගල භාවයෙන් ගන්න සුදුසු නෑ කියලා නුවණට අවබෝධ වන නිසා ‘මම ඉන්නවා’ කියලා කියන්නේ නෑ.

මේ නාම-රූප දෙක පිරිසිඳ දකින්න බැරි වුණොත් – අවිද්‍යාව තිබුණොත්, සත්ත්ව පුද්ගල අදහසක් ඇති කරගෙන, සත්ත්ව පුද්ගල අදහසින් ඒ දිහා බලනවා කියන ධර්මතාවක් වෙනවා. මේ නාම-රූප දෙක මනාව දකින කෙනා ලෝකය නිරුද්ධ (ලෝක නිරෝධය) වන හැටි දන්න නිසා සත්ත්වයෙක්, පුද්ගලයෙක් ඇතැයි කියන්නේ නෑ; එසේ ම ලෝකය ඇති වෙන හැටි (ලෝක සමුදය) දන්න නිසා සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ කියන්නේ නෑ;

මෙය ඇති කල්හි මෙය වේ, මෙය නැති කල්හි මෙය නොවේ, කියල පටිච්ච සමුප්පාදය ගැන නුවණ ඇති වෙනවා; මෙන්න මේ විදියට පටිච්ච සමුප්පාද ධර්මය මාර්ගයෙන් වර්තමාන නාම-රූප දෙක පිරිසිඳ නොදැක්කොත් විපල්ලාස ඇති වෙලා, තණ්හා උපාදාන වෙලා, ජරා-මරණ-දුක ඇති වෙනවා කියලත් දන්නවා; වර්තමානයේ නාම-රූප දෙක පිරිසිඳ දැක්කොත් විපල්ලාස නැති වෙලා, තණ්හා උපාදාන නැති වෙලා, භවය නැති වෙලා, ජරා-මරණ දෙක නැති වෙනවා කියලත් දකිනවා; මෙන්න මේ ටික දැක්කාම දුකත්, දුක්ඛ නිරෝධයත් දෙකම දන්නවා.

ඊට පස්සේ මෙයා දන්නවා එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මොකක්ද කියලා. දුක නිරුද්ධ වීමට මොකක්ද කරන්න ඕන කියන අවබෝධය ලැබෙනවා. ඒ සඳහා නාම-රූප දෙක පරිඤ්ඤෙය්‍ය වෙන්න ඕන: පිරිසිඳ දකින්න ඕන. මේ ආකාරයෙන් අවබෝධයක් ලබපු කෙනාට, කොහොමද නාම-රූප දෙක පිරිසිඳ දකින්නේ කියන ප්‍රශ්නයක් ඒවි.

ඒකට තියෙන උත්තරේ තමයි ‘සතර සතිපට්ඨානය.’

එහෙනම් මේ ටික පිරිසිඳ නොදැක්කොත් මේ වගේ කෙලෙස් ඇති වෙලා ජරා-මරණ දුකට පත් වෙනවාමයි. නාම-රූප දෙක පිරිසිඳ දැක්කොත් විපල්ලාස නැති වෙලා, උපාදාන භව නැති වෙලා, ජරා-මරණ දුක නැති වෙනවාමයි. නාම-රූප දෙක පිරිසිඳ දැකීම හා නොදැකීම මත දුක් විඳීම හා නොවිඳීම කියන ධර්මතා දෙක සිදු වන බව දකිනවා. එහෙනම් නාම-රූප දෙක පිරිසිඳ දකින්නේ කොහොමද කියන අවබෝධය ලබපු කෙනා සුදුසුයි මේ සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන පරිදි සතර සතිපට්ඨානය වඩන්න.

No comments:

Post a Comment