Friday, 31 July 2015

බෞද්ධ ලකුණ ඔසවා තබන පොලොන්නරුවේ කිරි වෙහෙර

බෞද්ධ ලකුණ ඔසවා තබන පොලොන්නරුවේ කිරි වෙහෙර

පොළොන්නරුවේ ඉතිහාස කතාව මෙනෙහි කිරීමේදී පෙනීයන්නේ චෝල පාලකයන් විසින් අප මව් බිම ආක්‍රමණය කර ක්‍රි.ව. 993 සිට 1070 දක්වා වසර 77ක පමණ කාලයක් ආක්‍රමණයන් ඔස්සේ බලහත්කාරි පාලනයක් ගෙන ගිය බවයි. ඒ අඳුරු යුගයේ ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය වූයේ පොළොන්නරුවය.

මෙම ආක්‍රමණිකයන්ගෙන් රට මුදා ගත්තේ 1 වන විජයබාහු නම් වූ විශිෂ්ට නරේන්ද්‍රයාණන් විසිනි.

පොළොන්නරුවේ ස්වර්ණමය යුගය ස්ථාපිත කරන ලද්දේ පළමුවන පරාක්‍රමබාහු රජතුමා ය. මධ්‍යකාලීන ලංකාවේ අගනුවර වශයෙන් පැවැතියේ පොළොන්නරු රාජධානිය ය. පැරැණි පොළොන්නරුව ලෝක උරුමයනට අයත් නගරයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මඟින් 1982 වසරේදී ප්‍රකාශයට පත් කර ඇත.

මේ සා විශේෂත්වයට පත් පොළොන්නරුව, අභිමානවත් අපගේ ආගමික මෙන්ම සංස්කෘතික උරුමය ශෝභාවත් කිරීම වෙනුවෙන් සාඩම්බරණීයත්වයෙන් මෙන්ම ශ්‍රේෂ්ඨත්වයෙන් අදටත් පෙනී සිටීම ශ්‍රී ලාංකීය පුරවැසියා ලද භාග්‍යයකි. ‘මධ්‍යකාලීන ලංකාවේ අගනුවර වශයෙන් වසර 250 ක පමණ පැවැති පොළොන්නරුව පසුව සහමුලින්ම විනාශ මුඛයට භාජනය විය’ ‘එහි පදිංචිකරුවන් විසින් නගරය අත්හැර දැමූ අතර එතෙක් කල් එහි සුරැකි අනභිභවනීය රාජකීය ප්‍රාසාද සහ ප්‍රෞඩ ස්මාරක මෙන්ම ගෘහෝද්‍යාන ද වසා මහ වනය වැඩුණු හෙයින් ඒවා කාලය නමැති වැලිතලාවට යට වී ගියේය ‘ ‘දහනවවැනි සියවසෙහි අවසාන භාගයේදි බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එහි නටබුන් පාදා ගන්නා තුරුම වසර 700 ක් පමණ කාලයක් එය වැළලී ගිය පුරවරයක් වශයෙන් පැවතුණි. ‘ වර්ෂ 1820 දී ඝන වනාන්තරය තරණය කළ ලුතිනන් ෆාගන් නම් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියා මෙම පුරවරය පිළිබඳ තොරතුරු සමාජයට හෙළි කළේය. ‘ ඉන් තව ශතවර්ෂ භාගයකට පමණ පසුව සිවිල් නිලධාරියකු වු බර්ච් සහ හමුදා නිලධාරියකු වූ ලුතිනන් ස්ටුවර්ට් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා 1868 දී මෙම නටබුන් ඡායාරූප ගත කළහ.’

(පොළොන්නරුව මධ්‍යකාලීන ලක්දිව අගනගරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න) මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ගේ ඉහත ප්‍රකාශනයෙන් පැවසෙන්නේ මෙම පොළොන්නරුව නගරය ඉතා ප්‍රෞඩව පැවැත එමින් පසු කලෙක බ්‍රිතාන්‍ය සමය වන විට වල්බිහිවී කැළෑවට වසන්ව පැවැති බවය.

මෙය නැවත පුනර්ජීවය ලබන්නේ ශි‍්‍රමත් ආතර් ගෝඩ්න් ආණ්ඩුකාරවරයාගේ කාලයේ සිටය. එවකට පුරා විද්‍යා කොමසාරිස් ව සිටි එච්.එම්. බාරොස් වනය එළිපෙහෙළිකර නටබුන් පාදා ගැනීමේදි එය අධික්‍ෂණය කළේය. ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයන් වශයෙන් කීර්තියක් ඉසිලූ එච්.සී.පී. බෙල් සහ සෙනරත් පරණවිතානයන් විසින් කැණීම් කටයුතු තහවුරු කළ අතර පසු කලෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ඉතා මෑත කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් එම කාර්යය නොකඩවා පවත්වාගෙන යන බවට එහි සඳහන් වේ.

මෙම යුග ගණනාවක මහා ඉතිහාසයක ගමන්මඟ ආපදා විපත් මැද පැමිණෙමින් අද දකින අභිමානවත් පොළොන්නරු රාජධානියේ අතීත ශ්‍රී විභූතිය මොනතරම් නම් පුළුල්ව පැවැතියේදැයි සිතීමට යමක් ඉතිරිකර තිබීමද අගය කළ යුතු වෙයි.

මේ මහා පුරවරය බෞද්ධාගමික මහා පසුබිම හා රාජ්‍යත්වය අතිශය සමීපව බැඳී පැවැති බවට කදිම සාක්‍ෂි සපයයි.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලය මේ සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වා ඇති බව මේ අභිමානවත් නටබුන් අතර ඇවිද යාමේදී දැක ගැනීමට ලැබේ.

මේ තුළ ඇති මහා ස්තූපයන් අතර වූ ‘කිරි වෙහෙර’ නම් වූ චෛත්‍යයට ලැබෙන්නේද ප්‍රමුඛ ස්ථානයකි.

එය පොළොන්නරු රාජධානියේ නටබුන් අතර රැෙඳමින් ඉතා රමණීය වූද ඓතිහාසික වූද සන්හිඳියාවෙන් පිරිපුන් ආගමික පරිසරයේ ස්වභාවය උදෙසා සුවිශේෂි වූ පසුබිමක නිර්මාණය කර තිබේ. කිරිවෙහෙර දෙවැනි වන්නේ පොළොන්නරුවේම ඇති ‘රන්කොත් ‘ වෙහෙරට පමණකි.

මෙය කරවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව. 1153- 1186) එක් මෙහෙසියක වූ සුභද්‍රා රැජිනි විසින් යැයි කියැවෙයි. මේ මහා ස්තූපය ආරම්භයේදි ‘රූපවතී’ ස්තූපය නමින් හැඳින්වූ බවට සඳහනක් ද තිබෙයි.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ පවසන්නේ ‘කිරිවෙහෙරට’ සුභද්‍රා දෙවියගේ සම්බන්ධය දෙවිධියකට සලකනු ලබන බවයි.

මෙය සුභද්‍ර දේවිය නමින් මහා පරාක්‍රම රජතුමා විසින් හෝ සුභද්‍රා දේවිය විසින් හෝ කරවන ලද්දක් බව එතුමා පවසයි.

මෙහි උස මීටර් 28.97 ක් පමණ වෙයි. මෙහි වට ප්‍රමාණය අඩි 264 ක් පමණ වන අතර එය රන් කොත් වෙහෙරේ වට ප්‍රමාණයට වඩා හරි අඩකින් පමණ අඩුය. ආලාහණ පිරිවෙනට ඇතුළු වූවකුට ප්‍රථමයෙන්ම මුණ ගැසෙන්නේ කිරිවෙහෙරය.

මෙම මහා සෑය තවත් විචිත්‍රවත් කිරීමට සතර පැත්තෙන් වාහල්කඩ හතරක්ද පිළිම ගෙවල් හතරක්ද දකින්නට ලැබේ.

1910 වසරේදී ගවේෂණ අරඹද්දී ස්තූපයේ පතුල සුන්බුන් වලින් වැසී පැවැති අතර ගර්භ මට්ටම දක්වාම රොන් මඩ තට්ටුවකින් වැසි තිබුණු බවද කියැවෙයි.

නිධන් හොරුන්ගේ විනාශකාරි දෑතට හසුව ස්තූප ගර්භය තුළ උමඟක් හාරා එහි උපරි ව්‍යුහය විනාශ කර දමා තිබූ බවක්ද කියැවෙයි. පොළොන්නරු අගනුවර බිඳ වැටීමෙන් වසර 800කට පසුවද කිරිවෙහෙරේ අතීතය හා ශ්‍රී විභූතියට දෙස් දෙමින් අදත් විරාජමානව පවතින බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සඳහන් කර තිබේ.

මෙම ස්තූපයේ අතිශය වැදගත්කම වන්නේ පැරැණි බදාම ආලේපිත තට්ටුව සහිතව පොළොන්නරුවේ වඩාත් හොඳින් සුරක්‍ෂිතව ඇති දාගැබ මෙය වීම බව ඔහු තවදුරටත් පවසයි.

අතීතයේදී එයට කිරිවෙහෙර වශයෙන් වැහැරුවේ කිරිපැහැයෙන් දිස්වූ නිසා බව කියැවෙතත්, දිගු කාල පරාශයක ඇවෑමෙන් අපට එය දක්නට ලැබුණේ අව පැහැයෙනි. ඒ වුවද වෙහෙරෙහි බදාම තට්ටුව නො ගැළවී පැවතුණි. මෑතකදී පැරණි බදාම ස්ථරයට උඩින් බදාම ආලේප කර ප්‍රතිසංස්කරණය කර අද එය ධවල පැහැයෙන් දිදුලන බැවින්, එදා කිරිවෙහෙරෙහි අර්ථය බල ගන්වා තිබෙන බවක් පෙනෙයි. තද නීල ආකාශයේ තැන තැන ඝන සුදු වළාපෙළ විවිධ රටා මවන පසුබිමකදී කිරිවෙහෙරෙහි දසුන ඉතා විචිත්‍රවත් ආකාරයට දැක ගැනීමට ලැබෙයි.

ස්තූපය සමස්ත බෞද්ධ ජනතාවගේ හදමඬලේ මුදුනතම වැඩ වසමින් ගෞරව බහුමානයට බඳුන් වූ පූජනීය මහා සැමරුමකි.

එය අපගේ ශිෂ්ඨාචාරවත් ගමන් මගේ උදාරත්වය සවිමත් කළ සැලෙන මනසම නිසොල්මන් කරන සුළු බැතිය, සැදැහැති බව වර්ධනය කරවන සුළු දේශයක අධිෂ්ඨානය පිළිබිඹු කරවන සුළු සංකේතයකි. එසේම එය බෞද්ධ දේශයක දේහය විචිත්‍රවත් කරවන අපූර්ව වූ කලා නිර්මාණයකි. ‘කිරිවෙහෙර’ රජතුමාගේ බිසවක විසින් හෝ රජතුමා විසින් සෑදුවද එය එක් පසෙකින් ඔවුනොවුන්ගේ රාජ්‍යත්වයේ ශක්තිය,බලය විදහා පෙන්වීම වෙනුවෙන් ගොඩනැඟුවා විය හැකිය. එහෙත් එහි සර්වඥධාතූන් නිධන් කරමින් බුදුන් වහන්සේ වෙනුවෙන් කළ මහත්වූ පූජාවක් වශයෙන් අවසන් ඵලය ඉතිරි වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියෙන් සැනසෙන බෞද්ධ ජනතාව මෙන්ම අතීත උරුමයක විචිත්‍රත්වය සොයා යන මිනිසුන් සඳහාය.

පිවිතුරු බුදු දහමේ සදාතනික වටිනාකමට නව අර්ථකතනයක් එක්කළ නිර්මාණශීලි බවෙන් පිරිපුන් ස්තූප අතර තවමත් නොනැසි පවතින පොලොන්නරුවේ කිරිවෙහෙර ඓතිහාසික ජාතික උරුමයේ තුළ රැඳුණු බෞද්ධ ලකුණ ඔසවාතබන තවත් එක් විශේෂ සැමරුමකි.

No comments:

Post a Comment