Friday, 31 July 2015

වෙහෙසකර ගමන් මගක සුවදායක නැවතුම්පොළ අස්ගිරි ගෙඩිගේ ගමන් මාළිගාව.........

වෙහෙසකර ගමන් මගක සුවදායක නැවතුම්පොළ අස්ගිරි ගෙඩිගේ ගමන් මාළිගාව.........

සකල බෞද්ධ ජනතාවගේ පූජෝපහාරයට ලක් වන අති උතුම් වස්තූන් අතර ප්‍රමුඛ වන්නේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ය.

සම්බුදුරජාණන් වහන්සේගේ උද්දේශික, පාරිභෝගික සහ ශාරීරික වස්තූන්ගෙන් උසස්ම වන්නේ ශාරීරික වස්තූන් ය. ඒ අතුරින් ද දන්ත ධාතූන් වහන්සේට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

තුන්ලෝකාග්‍ර වූ සම්බුද්ධ රාජයාණන්ගේ ශ්‍රී මුඛයෙන් වදාළ සද්ධර්මයෙන් ලෝකයට සැනසීම - සුවය - විමුක්තිය උදා විය. ඒ සැනසිලිදායක අසූහාරදහසක් තරම් වූ මහා ධර්මස්කන්ධය ස්පර්ශ කරන්නට යම් දෙයකට හැකිනම් එය මොන තරම් නම් පුණ්‍යවන්ත වස්තුවක් ද?

ඒ භාග්‍යය උදාකරගත් අද ලොව පවතින එකම දෙය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ය.

සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයේදී අසිරිමත් බුදු සිරුර ආදාහනය කිරීමෙන් පසුව ඉතිරි වූයේ දන්ත ධාතූන් වහන්සේලා සිව් නමක් බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. ඉන් තුන් නමක් ගාන්ධාරයටත්, තව්තිසා දිව්‍ය ලෝකයටත්, නාග ලෝකයටත් රැගෙන ගිය අතර බුදුන් වහන්සේගේ යටි වම් දළදාව කලිඟු රට දන්ත නම් පුරවරයේ සිට ලක්දිවට වැඩම වූ බව වංශ කතා අනුව සනාථ වෙයි.

එහි රජ කළ ගුහසීහ රජතුමාගේ සදාදරණීය දියණිය වූයේ 'හේමමාලා' ය. හේමමාලා සරණ පාවා දුන්නේ දන්ත කුමාරයාට ය.

දන්ත ධාතූන් වහන්සේ සුරැකීම වෙනුවෙන් කළ සටනක දී ගුහසීව රජතුමා මරණයට පත් විය. එහෙත් එතුමාගේ අවසන් ඉල්ලීම වූයේ "දිවි රැකුණොත් දන්ත ධාතූන් වහන්සේ සුරක්ෂා කරමි. දිවි තොර වුවහොත් එම පූජනීය වස්තුව මතු ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාද්වීපයට රැගෙන යන්න" කියා ය. මාමණ්ඩියගේ එම ඉල්ලීමට අනුව දන්ත කුමරුන් සහ හේමමාලාවන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගෙන පැමිණි ඒ ඓතිහාසික ලංකා ගමනය සිදු විය. මෙසේ ඔවුන් ලංකාවට සැපත් වූයේ කීර්ති ශ්‍රී මේඝවණ්ණ රජ දවස ක්‍රි.වර්ෂ 310 දී ය. එනම් ක්‍රි. වර්ෂයෙන් මීට වසර එක්දහස් හත්සිය හතරකට පමණ පෙරදී ය.

මේඝවර්ණ රජතුමා වෙත දන්ත ධාතූන් වහන්සේ භාර කිරීමෙන් පසුව රජතුමා ශ්‍රී දළදා වහන්සේට කළ යුතු පූජාව කුමක් දැයි සිතුවේය.

ශ්‍රී සම්බුද්ධ ධර්මය ස්ථාපිත වූ ධර්මද්වීපය වූ මේ පුණ්‍ය භූමිය හැර වෙනත් වස්තුවක් නොමැති බව සිතූ රජතුමා අප ඉපදී හැදී වැඩී මියැදෙන පුණ්‍ය භූමියක් වූ මාතෘ භූමිය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කළේය.

එසේ වරක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පිදූ භූමිය, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත පිදූ අප මාතෘ භූමියයි. ලෝක ගෝලයේ භෞතික වශයෙන් අබ ඇටයක් තරම් වූ තුන් ලෝතලය දක්වා ව්‍යාප්ත වූ සද්ධර්මය තිර සාර ලෙස ග්‍රන්ථාරූඪ කරමින් නව පරිච්ඡේදයක් එකතු කළ අධ්‍යාත්මික සංහිඳීයාවේ සැනසුමේ සන්දේශය පෙරළා ලෝකයට උරුම කර දුන් අධ්‍යාත්මික පක්ෂයෙන් සුවිසාල වූ ධර්මද්වීපය යි.

තුන් ලෝකාග්‍ර වූ උතුම් සම්බුදු පියාණන් වහන්සේ හා සහ සම්බන්ධ වූ මෙවන් අචේතනික වස්තූන්ට රටක් පරිත්‍යාග කිරීම මොන තරම් නම් අසිරිමත් සිදුවීමක් ද? ලෝක ගෝලය කොතරම් කරකවා සෙව්වත් එවන් ඓශ්චර්යවත් සන්සිද්ධියක් සොයා ගැනීමට හැකි දැයි සැක සහිත ය.

ඒ නිසාම ශ්‍රී ලංකාව ලෝකයේම කෘත ගුණයක බල මහිමය පෙන්වන දේශයකි. එදා පටන් ලාංකේය බිමේ භාරකාරත්වය හෙබ වූ සියලුම රජවරු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සුරක්ෂා කළේ දිවි පරදුවට තබමිනි. දළදා වහන්සේට පිදූ දේශය රාජ්‍ය බලය ආරක්ෂා කර ගැනීමට නම් දළදා වහන්සේ ආරක්ෂා කර ගත යුතු විය.

චෝල,පෘතුගීසි,ලන්දේසි, ඉංශ්‍රීසි පරසතුරු ආක්‍රමණ පමණක් නොව දේශීය වශයෙන්ද ඇති වූ බල අරගල වලදී සතුරා සෑම විටම ඉව ඇල්ලුවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එක්කෝ විනාශ කර රට අස්ථීර කිරීමට හෝ අත්පත් කර තම බලය තහවුරු කර ගැනීම උදෙසා ය.මෑත යුගයේ දළදා මාලිගයට කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ සිද්ධිය ඊට හොඳ උදාහරණයකි.

ඒ නිසාම දැඩි ආරක්ෂක උපක්‍රම වශයෙන් දන්තධාතූන් වහන්සේ එක තැනක වැඩ නොසිටියේ ය. විටෙක විරාජමානව රැස් කදම්භය විහිදුවීමටත් තවත් විටෙක අඳුරේ සැඟ වී නිහඬව සිටීමටත් සිදු වූයේ බුදුන් වහන්සේට පිදූ දේශයේ උරුමය ආරක්ෂා කිරීම උදෙසාම ය.රජතුමා වැඩ වසන තැන මාලිගාව මෙන්ම දළදා වහන්සේ වැඩ වසන තැන විහාරස්ථානය නොවී මාලිගාවම වූයේ රාජ්‍යත්වයේ මිණි ඔටුන්නටත් ඉහළින් වූ රන් කරඬුව දළදා වහන්සේම වූ නිසා ය.

රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සද්ධර්මද්වීපය සුරැකීම වෙනුවෙන් ඇතැම් විටෙක මහා මාලිගයෙන් බැස ගිරි දුර්ග,වන දුර්ග,ගිරි ගුහා, මෙන්ම මිහි මඬල යට සැඟවෙන්නට දළදා හාමුදුරුවන්ට සිදු විය.

හේමමාලාවගේ හිස කෙස් මතින් වැඩිය ගමනේ වෙහෙස එතැනින් නිමා නොවුණි. කුරහන් ගල් කුහර මත ද කිණිසි, කොපු තුළ ද උත්තම චීවරයේ පහස යට ද උතුම් දළදා හාමුදුරුවෝ ගමන් කළ සේක. එවන් ස්ථානයන් ප්‍රායෝගික තලයේදී දළදා හාමුදුරුවන්ගේ පූජනීයත්වයට තරම් නොවනු ස්ථාන සේ පෙනුන ද හැඟුණ ද පරමාර්ථ වශයෙන් ගත් කළ දළදා වහන්සේ සුරක්ෂිතව වැඩ සිටි මාලිගා පරිද්දෙන් එම ස්ථානයන් 'ගමන් මාලිගා' වැනි ය. එවන් ස්ථාන දාඨා වංශ කතාව සුසුවඳ කළ සදාතනික චින්තන සිහිවටන මලසුන් බවට පත් වෙයි.

බොහෝ රජවරුන් දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගැනීමේ ව්‍යායාමයක නියැලුණේ රාජ්‍යත්වය- බලය අයිතිය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ය. ඒ නිසා රජවරුන් බහුතරයකගේ ව්‍යායාමය මුළු හදින්ම පවිත්‍ර වූවාදැයි සැක සහිත ය.

එහෙත් හේමමාලාවන් සහ දන්ත කුමරුගේ වෙහෙසකර අති දුෂ්කර ව්‍යායාමයේ සිට හිරිපිටියේ කීරවැල්ලේ නිලමේ තුමා,ෂඩ්භාෂා පරමේෂ්වර මහින්දාලංකාර මහ තෙරුන් වහන්සේ- වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ඇතුළු බහුතරයක් භික්ෂුන් වහන්සේ මෙන්ම දේශයේ උත්තරීතරභාවය අනන්‍යතාවය බෞද්ධාගමේ සුරක්ෂිත තාවය ඒකායන පිවිතුරු අරමුණ කරගත් තවත් අප නමින් හෝ නොහඳුනන දේශප්‍රේමී අවශේෂ මිනිසුන්ට ද ළයෙහි උපන් හද මලින් ජාතියේ පූජෝපහාර පිදිය යුතුම ය, පුණ්‍යානුමෝදනා කළ යුතුම ය.

එවන් වූ අතිශය දුෂ්කර ගමන් මඟක පැමිණි දළදා හාමුදුරුවන් අද වැඩ වසන්නේ උඩට රන් වියන් යටට රන් පාවඩ සැදි ස්වර්ණමය ධාතු කරඬුවක් මධ්‍යයේ මහත් වූ සැනසීමකින් ය.

ලාංකේය මන්දිර- මහා මාලිගා අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාව අප මාතෘ භූමියේ උත්තරීතර වූ මාලිගාවම ය.

ලංකා දළදා ගමන හා පෙළ ගැසෙන වසර 1704ක් පමණ වූ දීර්ඝ ගමන් මඟේදී මාලිගාවන් හි මෙන්ම ආරක්ෂක ස්ථානයන්හි අපල උපද්‍රව සහිතව හෝ දේශයේ සුරක්ෂිත තාවය වෙනුවෙන් දළදා හාමුදුරුවෝ වැඩ විසූ සේක.

ඒ අතර දාඨා වංශ කතාවේදී අපට තවත් ගමන් මාලිගාවක් හමුවෙයි. ලංකාවේ පෙරහර මංගල්‍යයේ දී මහනුවර ඇසළ මහා පෙරහර අද්විතීය පෙරහරයි. එය අපගේ සංස්කෘතිකාංග අතර ප්‍රබල ස්ථානයක් නියෝජනය කරයි. පළමු වන විමලධර්ම සූරිය රජතුමා ක්‍රි.ව.1593 දී දන්ත ධාතූන් වහන්සේ එදා දෙල්ගමු රජමහා විහාරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගයට වැඩමවා ගෙන එනගමනේ දී දළදා මාලිගයේ අවසාන අදියරෙහි වැඩ නිම නොවී පැවැති බැවින් ආසන්නයේ පැවැති සුදුසු පූජනීය ස්ථානයක් වූ අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ එක් දිනක් පුද සත්කාර සහිතව වඩා හිඳ වූ බව 'අස්ගිරි උපතෙහි' සඳහන් වෙයි.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේදී මෙය සිදු වූ බැවින් අස්ගිරි ගෙඩිගේ ගමන් මාලිගාව වශයෙන් ප්‍රකට විය.
බුද්ධ වර්ෂ 2296 දී දුරුතු මස පුර පසළොස්වක් පොහෝදා අමාත්‍ය පිරිස පිරිවරා ගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු අස්ගිරි මහා විහාරස්ථ ගෙඩිගේ විහාරයට පැමිණියේය.

එහිදී රජුගේ පූර්ණ දායකත්වය ඇතිව සියම් දේශයේ සිට වැඩම කැර වැඩ සිට අපවත්වී වදාළ සියම් උපාලි මහා තෙරුන්ගේ හා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂූන්ගේ ආශිර්වාද මධ්‍යයේ රන් පොතෙහිවූ පරිද්දෙන් දිගින් රියන් තිස් දෙකක් හා පළලින් රියන් විසි අටක් වූ අස්ගිරි මහා විහාරස්ථ ප්‍රථම උපෝසථ පෝය සීමා මාලකය පිහිටුවන ලදී.

මහනුවර ඇසළ පෙරහරට දළදා පෙරහර සම්බන්ධ කිරීමෙන් පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නියමයෙන් ඓතිහාසික ඇසළ පෙරහරෙහි අවසාන රන්දෝලි පෙරහරෙහි පෙරහර කරඬුව අවසාන දින රාත්‍රියේ දී ගෙඩිගේ විහාරයේ තැන්පත් කරනු ලබයි. පසු දින දිය කැපීමේ මංගල්‍යයට කරඬුව වැඩමවන්නේ මෙම ගෙඩිගේ විහාරස්ථානයේ සිට ය. මෙම පූජනීය ස්ථානයේ දළදා පෙරහර කරඬුව වැඩ සිටිනා කාලය තුළ දළදා මාලිගයේ දී මෙන්ම සියලු පුද සත්කාරයන් පූජෝපහාරයන් ඒ විදියටම සිදු කෙරෙයි. මෙම චාරිත්‍රය අද ද ඒ අයුරෙන් ම සිදුවීම විශේෂිත ය. ගම්පළ රජ කළ iii වික්‍රමභාහු රජතුමා (ක්‍රි.ව1347-1375) පරලෝ සැපත් සිය මෑණියන් වූ චන්ද්‍රාවතී දේවිය නමින් බෝධියක් රෝපණය කළෝ ය. ඒ ආසන්නයේ ම මෑණියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ තැන සිහිවීමට සොහොන් කොතක් නොබැඳ ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙයක්- ශෛලමය සමාධි ප්‍රතිමාවක් සහ සංඝාවාසයක් ද කරවීය. එසේ කෘතගුණ පූර්වකව කළ විහාරස්ථානය අස්ගිරි විහාරයේ ග්‍රන්ථ ධූරය වඩන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස රාජනාරායන වික්‍රමභාහු ස්ථවිරයාණන් වහන්සේ වෙත පිදූ බවත් අස්ගිරි උපතෙහි සඳහන්ව තිබේ.

පසු කලෙක ගමන් මාලිගය බවට පත් වුණේ මෑණියන්ට කෘත ගුණ සැලකීම වෙනුවෙන් කළ මෙම විහාරස්ථානය යි.දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව ඇති විහාරස්ථාන අතර ඉපැරැණි විහාරය ලෙස මේ විහාරය සැලැකේ. ඉන්දියානු ආභාෂයෙන් නිර්මිත මකර තොරණ සහිත ගල් කැටයම් දර්ශනීය සභාවයෙන් විචිත්‍රවත් වේ.

මහින්දාගමනයත් සමඟ පළමුව ඉදිවූ මහා විහාර සඟ පරපුර තෙක් අස්ගිරි විහාර සංඝ පරම්පරාව ව්‍යාප්තවේ. එසේ සංඝ පරම්පරාවකට හිමිකම් කියන ගෙඩිගේ විහාරය ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියයි.

ඉහත අප සඳහන් කළ දළදා පුරාවෘත්තයේ සියලු මාලිගයන්ට නොල ද වරප්‍රසාදයක් උදාකර ගැනීමට මෙම ගමන් මාලිගාව වාසනාවන්ත විය.

මෑණියන් වෙනුවෙන් කළ පූජෝපහාරයට පින් සුදු වන්නට දිනක් දළදා වහන්සේ ආරක්ෂා කළ අස්ගිරි ගෙඩිගේ ගමන් මාලිගාව ද දළදා වංශ කතාවේ සදානුස්මරණීය සිහිවටනයක් බවට පත් වී තිබෙ යි.

No comments:

Post a Comment